චීන ආරක්ෂක ඇමතිගේ රථපෙළ කොළඹට එන අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කළ අයෙකු අත්අඩංගුවට

by Staff writer 30-04-2021 | 7:44 AM

COLOMBO (News 1st) - චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේදී රථ පෙළට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බොරැල්ල ප්‍රදේශයේදී බාධා කරමින් නීති විරෝධි රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පසුගිය 27 වැනිදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපළට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා කොළඹට පැමිණෙන රථ පෙළ සඳහා බොරැල්ල ප්‍රදේශයෙන් සෙසු වාහන ධාවනය සීමා කර තිබීයදී මෙම සිදුවීම වී ඇති බවයි. බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරු අද (30)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේ ය.