නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් බවට පත් කිරීමේ සූදානමක්

නිරෝධායන මධ්‍යස්ථානත් රෝහල් බවට පත් කිරීමට අවධානය - සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

by Staff writer 29-04-2021 | 7:10 AM

COLOMBO (News 1st) - රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී ඇති බව කොරෝනා රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

රාජ්‍ය ආමාත්‍යවරිය සඳහන් කළේ, කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් එය සිදු කරන බවය. එවැනි තත්ත්වයක් යටතේ විදේශවල සිට මෙරටට පැමිණෙන පිරිස ද සීමා කිරීමට සිදු වනු ඇති බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට වසා දමා ඇති කම්හලක් අලුත්වැඩියා කර කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.