හිටපු ලෝක විවාහක රූ රැජිණ කළ ඉල්ලීම..

ලෝක කිරුළ කැප කළ ජූරි රූපලාවන්‍ය තරග වෙනුවෙන් කළ ඉල්ලීම

by Sagarika Chathumali 28-04-2021 | 11:45 AM

COLOMBO (News 1st) : මෙරට විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට අදාළ නීති සම්පාදනය සහ ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇතැයි, හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි පවසන්නී ය.

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය ඉල්ලා සිටින්නේ, විලාසිතා සහ නිරූපණ තරග වේදිකා නිර්මාණය කළ යුත්තේ, සැමට සමාන සහ සාධාරණ ආකාරයෙන් බවයි. විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය තරාතිරම්, බෙදීම් සහ භේදවලින් තොරව සියලුම කාන්තාවන් සඳහා සමාන සහ සාධාරණ වේදිකාවන් නිර්මාණය වී තිබෙන්නේ නම්, පසුගිය දා සිදු වූ ඛේදජනක සිදුවීම් කිසි දිනෙක සිදු නොවනු ඇතැයි ද ඇය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ. කිරුළු දහසක් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක් කිරුළක් අයෝජනය කිරීමෙන්, විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වේදිකාවන් පවා නියමනයට ලක් කිරීමට පෙළඹවීමක් සිදු කළ හැකි නම්, එය රටක් ලෙස අප තබන ඉදිරි පියවරක් බව ද එහි සඳහන් ය. ජූරි වැඩිදුරටත් පවසන්නේ, එය එසේ වුවහොත් විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය සහ තරග නියාමනයට ලක් කරන ලොව පළමු රට ලෙස අප ඉතිහාසගත වනු ඇති බවයි. ? වාණිජ්‍ය කර්මාන්තය ? ප්‍රමිතිගත විගණනය ? ජූරිය ? සහභාගීවන තරගකරුවන්ගේ ආරක්ෂාව ? නෛතික අවබෝධතා ගිවිසුම් යන අංග ඔස්සේ ඒ සඳහා වැදගත්වන කරුණු කිහිපයක් ද ඇය සිය ලිපිය මගින් අමාත්‍යංශ ලේකම්වරයාගේ අවධානයට ලක් කර තිබේ.