ගම සමග පිළිසදර ප්‍රගතිය බැලීමට ජනපති බදුල්ලට..

ගම සමග පිළිසදර ප්‍රගතිය බැලීමට ජනපති බදුල්ලට..

by Staff writer 26-04-2021 | 9:05 PM

COLOMBO (News1 st) - ගම සමග පිළිසඳර වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(26) බදුල්ල, වෙලංවිට ගම්මානයට පැමිණියේ ය.

මෙම ගම්මානයේ ගැටළුවලට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේ මාස හතකට පෙරයි. යුද හමුදාව මහජන ඉල්ලීම පරිදි ඉදි කළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ විය. හපුතලේ සිට වෙලංවිට දක්වා අද සිට බස් රථ 2ක් ධාවනයට එක් කෙරුණේ ගම්මාන 8ක ප්‍රවාහන දුෂ්කරතාවලට විසඳුමක් ලෙසය. මෙම ගම්මානයේ වන අලි ප්‍රහාරයෙන් කැඩී ගිය නිවසක් යුද හමුදාව විසින් පිළිසකර කර ඇති අතර ජනාධිපතිවරයා එය ද නිරීක්ෂණය කළේය. ගම සමග පිළිසඳරින් ප්‍රතිලාභ අත් කරගත් ඉඩම් ඔප්පු ලාභීන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ට උපදෙස් දුන්නේ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වන ලෙසය. කිලෝමීටර 6 ක් දිග විදුලි වැට සක්‍රිය කර ඇති අතර එය රැක ගැනීම සඳහා කිලෝමීටරයකට ගම්වැසියෙකු බැගින් පත් කර ඇත්තේ රුපියල් 7500 ක මාසික දීමනාවක් ලබා දෙමිනි. නිකපොත සිට වෙලංවිට පාසල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ඇති අතර, කිලෝ මීටර් 14 ක තවත් මාර්ගයක ඉදිකිරීම් දැන් සිදුවේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පානීය ජල ගැටළුවට විසඳුම් ලෙස ඉදි කෙරෙන ජල යෝජනා ක්‍රමය පිළිබඳව ද ජනාධිපතිවරයා විමසා බැලූ බවයි. අක්කර සියය, වෙලංවිට සහ කුමාරතැන්න ගම්මානවල විදුලි සැපයුම සඳහා රුපියල් මිලියන 54 ක් වැය කර ඇති අතර, මාස තුනක් තුළ නිවාස 83 කට විදුලිය ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.