'KRI Nanggala' බාලි මුහුදේදී තුනට කැඩෙයි

ඉන්දුනීසියා නාවික සබ්මැරීනය බාලි මුහුදේදී කැබලි වෙයි

by Sagarika Chathumali 26-04-2021 | 10:51 AM

COLOMBO (News 1st) – පසුගිය දා බාලි දූපතට උතුරින් වූ මුහුදේදී අතුරුදන් වූ සිය නාවික සබ්මැරීනය (KRI Nanggala-402) මුහුදු පතුලේදී කොටස් තුනකට කැඩී ගොස් ඇතැයි, ඉන්දුනීසියානු නාවික බලධාරීහු පවසති.

තව ද විදෙස් වාර්තා සඳහන් වන්නේ, අතුරුදන් වන අවස්ථාවේ සබ්මැරීනයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 53 දෙනා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. සබ්මැරීනය අතුරුදන් වූ දින සිට සබ්මැරීනය සොයා අන්තර්ජාතික මෙහෙයුමක් දියත් කෙරුණු අතර ඊට අමෙරිකාව, බංග්ලාදේශය, මැලේසියාව , ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාවේ ද සහය ලැබී තිබිණ. මෙහෙයුමේදී ගැඹුරු මුහුදු පතුලේ සබ්මැරීනය ඇති බවට ලද සංඥා සනාථ කර ගැනීම සඳහා සිංගප්පූරු යාත්‍රාවක් පිටත්ව ගොස් ඇති අතර එමගින් ගෙන එන ලද දර්ශනවලට අනුව සබ්මැරීනය මුහුදු පතුලේදී කොටස් තුනකට කැඩී ගොස් ඇති බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත් ඉන්දුනීසියා නාවික බලධාරීන් පවසන්නේ, සබ්මැරීන අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි. පුහුණු අභ්‍යාසයක නිරතවෙමින් සිටි KRI Nanggala-402 නමැති සබ්මැරීනය ගැඹුරු මුහුදට කිමිදීමට අවසර ඉල්ලීමෙන් පසු පසුගිය 21 වනදා සබඳතා ඇණහිට තිබිණ. KRI Nanggala-402 මීට වසර 40කට පෙර ජර්මනියේදී නිෂ්පාදිත සබ්මැරීනයකි.