මන්නාරම ඛනිජ:ඔස්ට්‍රේලියා සමාගමක බලපත්‍ර අවලංගුයි

මන්නාරමේ ඛනිජ ගවේෂණය:ඔස්ට්‍රේලියානු සමාගමක බලපත්‍ර 8ක් අවලංගු වෙයි - භූ විද්‍යා හා පතල් කාර්යාංශය

by Staff writer 24-04-2021 | 10:25 PM

COLOMBO (News 1st) – නිව්ස්ෆස්ට් රටේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් හැමදාම පෙනී සිටියේ ය.

ඒ ආකාරයෙන්ම අප කළ හෙළිදරව්වක් නිසා මේ රටට අයත් අති විශාල වටිනාකමක් සහිත ජාති සම්පතක් රැක ගැනීමට හැකි වී තිබේ. මන්නාරම් දූපත්වල ඛනිජ ගවේෂණය සඳහා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය 2015 වසරේ මෙරට ලියාපදිංචි දේශීය සමාගම් 5කට ලබා දුන් ගවේෂණ බලපත්‍ර 9ක්, ඔස්ට්‍රේලියානු සමාගමක් යටතට පත්වීම ගැන අපි දිගින් දිගටම වාර්තා කළෙමු. එම බලපත්‍ර 9 න් 8 ක් අවලංගු කර ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පෙරේදා සඳහන් කළේය. අදාළ පැවරීම පිළිබඳව කාර්යාංශය දැනුවත් නොකිරීම, මෙලෙස බලපත්‍ර අවලංගු කිරීමට හේතුව ලෙස දැක්විය. බලපත්‍ර 9 යොදාගෙන මන්නාරම් දූපත්වල මෙට්‍රික් ටොන් මිලියන 265ක පමණ ඛනිජ ගවේෂණය කර තිබූ අතර, ඒවා චීනය,ජපානය,ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කිරීමට ද ඔස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම සැලසුම් කර තිබුණි. මේ ගනුදෙනුවේදී පළමුව සිදුව තිබුණේ, මුරුසියේ පිහිටි ආයතන 2 ක් විසින් ඛනිජ ගවේෂණ බලපත්‍ර 9 සතු දේශීය සමාගම් 5 පවරා ගැනීමයි. ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම විසින් අදාළ මුරුසි ආයතන දෙක පවරා ගත්තේ ය. මේ ආකාරයට යම් පැවරීමක් සිදු කරන්නේ , අදාළ දේශීය සමාගම්වල වගකීම වන්නේ ඒ පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනුවත් කිරීමයි. ජාතික සම්පත් සුරැකීමේ ක්‍රියාවලියේදී නිරන්තරයෙන් පෙරමුණ ගන්නා නිව්ස්ෆස්ට්, මේ ගනුදෙනුව පිළිබඳව මුලින්ම හෙළිදරව් කළේ ය. අප වාර්තා කළේ, අදාළ දේශීය සමාගම් 5 විදේශ සමාගම් 2 ක් යටතට පත්ව ඇති බවක් භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත දන්වා නොමැති බවයි. අප මෙලෙස වාර්තා කිරීමෙන් පසු, පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා මේ ගැන සොයා බැලීමට කමිටුවක් පත් කළේ , විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගේ උපදෙස් අනුගමනය කරමින් ය. කාර්යාංශය අදාළ බලපත්‍ර 9 න් 8 ක් අවලංගු කිරීමට පියවර ගත්තේ , එම කමිටුව ලබා දුන් නිර්දේශ අනුවයි. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම එරට කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීම ද අප්‍රේල් 30 වැනිදා තෙක් නතර කර තිබේ.