නව ගෑස් සිලින්ඩරයට පාරිභෝගිකයින්ගෙන් චෝදනා..

කිලෝ වෙනුව⁣ට ලීටර්: නව ගෑස් සිලින්ඩරයට පාරිභෝගිකයින්ගෙන් චෝදනා..

by Staff writer 24-04-2021 | 9:19 PM

COLOMBO (News 1st) – ලිට්‍රෝ ගෑස් සමාගම පසුගියදා සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයකට සෑහෙන පරිදි අලුතින් හඳුන්වා දුන්නේ ලීටර 18, නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ගෑස් සිලින්ඩරයයි.

එහි මිල රුපියල් 1395 ක් වන අතර බර කිලෝග්‍රෑම් 9.18 ක් ලෙස සටහන්ව තිබේ. මින් පෙර, කිලෝගෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරුණේ රුපියල් 1493 කටයි. රුපියල් 100 ක් අඩු නමුත්, ගෑස් සිලින්ඩරයක බර කිලෝග්‍රෑම් 3 කින් පමණ අඩුවී ඇති බවට පාරිභෝගික ජනතාව චෝදනා කළේ ය. පාරිභෝගික අදහස් -
මිල අඩු කළයි කියනවා. ඇතුලේ ගෑස් අඩුයිනේ මේක සාමාන්‍යයෙන් මෝඩයින්ට නම් හොඳයි සාමාන්‍යයෙන් ගණන් හදාගන්න පුළුවන් මිනිහෙකුට මේක හරියන්නේ නැහැ. මෙතනින් වෙලා තියෙන්නේ රුපියල් 400 කින් විතර ගෑස් මිල වැඩිවීමක් වෙලා තියෙන්නේ. දැන් මීට පස්සේ ගෑස් විකුණන අයත් දැන ගන්න ඕනේ තරාදියක් ගෙනිහින් තියා ගන්න ඕනේ අපිත් හිස් ගෑස් එක කිරලා ඉවර වෙලා තමයි ගෑස් ගන්නේ. ගෑස් ගෙන්න යන්න රුපියල් 200යි ගෑස් සිලින්ඩරයට 1600යි කොහොමද අපි ජිවත් වෙන්නේ. ජනතාව ගොනාට අන්දලා ජනතාව මුලා කරලා මේ සමාගම් අත්තනෝමතික ලෙස මිල වැඩි කරමින් ඉන්නවා.
ව්‍යාපාරිකයෙක් -
මින් ඉදිරියට අපි විකුණන්නේ ලීටර් 18 සිලින්ඩරය කියන එක මොකද නැතිනම් අපිට ප්‍රශ්නයක් වෙනවා. ගෑස් එක කලින් ඉවර වුණා කියන එක අපි දැනුවත් කරලා දැන් තියෙන මිලට තමයි විකුණන්නේ. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒ අය නව හඳුන්වාදීම තුළින් බලාපොරොත්තු වෙන්නේ තාප ධාරිතාවය වැඩි කරලා කියන එක කරුණු ඉදිරිපත් කළා. අපි මේ පිළිබඳව දැනුම තියෙන විශේෂඥ ආයතන 3 කට සඳහන් කළා. ඒ සංයුතිය වැඩි වීම තුළ තාප ධාරිතාවය වැඩිවෙනවාද ඒ තුලින් පාරිභෝගිකයට වාසියක් ලබාගන්න පුළුවන්කමක් තිබෙනවාද ? අපි ලිඛිතව ඉල්ලීම් කරලා තිබෙනවා. ඉදිරි සිකුරාදා වෙනකොට අදාළ රාජ්‍ය ආයතන විසින් අපිට ඒ තාක්ෂණිකමය වශයෙන් ලබාදීමෙන් අනතුරුව නැවත ලිට්‍රෝ සමාගම සමග කතා කරලා. විය යුතු සංශෝධන තිබේනම් ඒ පිළිබඳව සමාගම දැනුවත් කිරීමට අපි විශේෂයෙන් කටයුතු කරනවා.
අලුතින් හඳුන්වා දුන් සිලින්ඩරවලින් 50%ක් පමණක් වෙළදපොළෙන් ඉවත් කර ගැනීමට සූදානම් යැයි පාරිභෝගික කටයුතු අධිකාරියට ඊයේ යෝජනා කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ , වෙළඳපොලේ ලිට්‍රෝ ගෑස් හිඟයක් නොමැති බවයි. මේ අතර ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දුන්නේ, නව සිලින්ඩරය නිසා රුපියල් 406 ක වංචාවක් කර ඇතැයි පවසමින් ය. ගෑස් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් පවතින්නේ, පසුගිය 20 වැනිදා මුදල් අමාත්‍යාංශය LP ගෑස් ආනයනය සම්බන්ධ නව බදු සහනයක් ලබා දී තිබු පසුබිමක් තුළයි. ඒ අනුව, LP ගෑස් ආනයනයේදී 7.5 % ක බදු ප්‍රතිශතයක් හෝ මෙට්‍රික් ටොන් 1 කට රුපියල් 2000 ක බද්දක් අය කර ගැනීම වැඩි වාසිදායක තත්ත්වය යටතේ තීරණය වේ. මෙම බදු සහනය ක්‍රියාත්මක වන්නේ, ලෝක වෙළෙඳපොළේ LP ගෑස් මෙට්‍රික් ටොන් 1 ක මිල ඩොලර් 325 සීමාව දක්වා පමණි.