පැය 24ක් තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 2,624 ක්

ඔක්සිජන් හිඟය නිසා ඉන්දියාවේ කොවිඩ් මරණ සීඝ්‍රයෙන් ඉහළට: පැය 24 තුළ මරණ 2,624 ක්..

by Chathurika Jayasundara 24-04-2021 | 8:24 PM

COLOMBO (News 1st) –  ඉන්දියාවේ කොරෝනා මරණ සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, පවතින ඔක්සිජන් හිඟයක් නිසා ය. නව දිල්ලියෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24,331 ක් වන අතර මිය ගිය ගණන 348කි. ඒ, දිල්ලියෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙසය. සමස්ත ඉන්දියාවෙන් ද ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් තුන් ලක්ෂ 32,730 දෙනෙකු වාර්තා වී අතර මරණ සංඛ්‍යාව 2,624 කි . දින 3ක් තුළ ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියනයකට ආසන්න වේ. මේ හේතුවෙන් ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත්තේ , වැඩි වශයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ වෙත දුම්රිය හා ගුවන් මගින් කඩිනමින් ඔක්සිජන් පහසුකම් සැපයීම සඳහා කටයුතු කරන බවයි. ඔක්සිජන් හිඟය හේතුවෙන් නවදිල්ලියේ ජයපූර් ගෝල්ඩන් (Jaipur Golden Hospital ) රෝහලේ පුද්ගලයින් 20 දෙනෙකු එක රැයක් තුළ මිය ගිය බව බව විදෙස් මාධ්‍ය වාර්තා කර ති‌බේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ , මෙම තත්ත්වය වෛරසයට කළ හැකි දේ පිළිබඳව “විනාශකාරී මතක් කිරීමක්” බවයි. ඉන්දියාව කොරෝනා වසංගතය යම්තාක් දුරට පාලනය කර ඇති බවක් පෙනෙන්නට තිබුණ ද , නැවතත් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වර්ධනය වන්නට විය. 2021 වර්ෂය ආරම්භයේදී ඉන්දීය රජය විශ්වාස කළේ , ඔවුන් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි බවත් ය . එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉකුත් මාර්තු මාසයේදී කියා සිටියේ ද , ඉන්දියාව කොරෝනා වසංගතයේ අවසාන භූමිකාවේ සිටින බවයි. කෙසේ වෙතත්, නව ප්‍රභේදයන් බිහිවීමත් , ඉන්දියාවේ කුම්භමේලා වැනි මහජන ඒකරාශීවීම් හේතු කොට නැවත කොරෝනා ව්‍යාප්ත වන්නට විය. නවදිල්ලි රෝහල් බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ, නවදිල්ලි නුවර කොවිඩ් රෝගීන් ද ඔක්සිජන් හා රෝහල්වල ඉඩ පහසුකම් නොමැති වීමෙන් දැඩි අවදානමකට මුහුණ දී සිටින බවයි. මේ අතර, ඔක්සිජන් එක්ස්ප්‍රස් දුම්රිය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට ළඟා වී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කර ඇත්තේ , නාග්පූර්හිදී දුම්රියේ ටැංකි 7 න් 3 ක් ප්‍රාන්තයේ රෝහල්වල භාවිතය සඳහා මුදාහැර ඇති බවයි. එක් ටැංකියක අන්තර්ගත ද්‍රව ඔක්සිජන් ප්‍රමාණය ටොන් 15 කි.