ත්‍රිකුණාමලයට පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලීමක්..

අත්‍යවශ්‍යම කාරණයකට හැර ත්‍රිකුණාමලයට පැමිණීමෙන් වළකින්න - නැගෙනහිර ආණ්ඩුකාරවරිය

by Staff writer 23-04-2021 | 9:16 PM

COLOMBO (News 1st) : අත්‍යවශ්‍ය කාරණාවකට හැර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සංචාරය කිරීමෙන් වළකින්නැයි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියා ය.

ඒ, කොවිඩ්-19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති බැවින්ය . මේ අතර, මාර්ග බාධක පනවමින් ජනතාව අත්‍යවශ්‍යය කාරණාවකට හැර සෙසු ගමන් බිමන්වල නිරත වීම වළක්වන්නැයි ද ආණ්ඩුකාරවරිය අද(23) පෙරවරුවේ ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ. ඉදිරි කාලය තුළ ත්‍රිකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නා ය. ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටියේ , නිරෝධානය පනත උල්ලංඝණය කරන කවර හෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ය. ගෝමරන්කඩවල සහ පදවි ශ්‍රීපුර යන ප්‍රදේශවලින් ත්‍රිකුණාමලයට පැමිණෙන ජනතාව හැකිතාක් සීමා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද ආණ්ඩුකාරවරිය අදාළ බලධාරින්ට උපදෙස් දී තිබේ. ඒ, එම ප්‍රදේශවලින් වකුගඩු රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා වී ඇති නිසාත් , වකුගඩු රෝගීන්ට කොවිඩ්-19 ආසාදනය වීම ඉතා ඉක්මණින් සිදුවන බවට සෞඛ්‍යය අංශ අනාවරණය කරගෙන ඇති හෙයින් මෙම පියවරයන් ගෙන තිබේ.