හම්බන්තොට ආ විකිරණශීලි ද්‍රව්‍ය සහිත නැව පිටව යයි

හම්බන්තොට ආ විකිරණශීලි ද්‍රව්‍ය සහිත නැව මෙරට මුහුදෙන් පිටව යයි

by Staff writer 22-04-2021 | 3:10 PM

COLOMBO (News 1st) ; හම්බන්තොට වරායට ඔබ්බෙන් නැම්ගුරන් ලා තිබූ විකිරණශීලි යුරේනියම් රසායන ද්‍රව්‍ය සහිත නෞකාව අද පස්වරු 1.30 ට පමණ මෙරට මුහුදු සීමාවෙන් පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා සඳහන් කළේ, අදාළ නෞකාවේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් අනතුරුව නෞකාව මෙරට මුහුදු සීමාවෙන් පිටව ගිය බවයි. නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනයේ ෂැංහයි වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ M.V. BBC Naples නැමති එම නෞකාව පසුගිය 20 වැනිදා රාත්‍රී 9 ට පමණ හම්බන්තොට වරායට පැමිණියේ ය. අදාළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ යුරේනියම් හෙක්සෆ්ලෝරයිඩ් විකිරණශීලී ද්‍රව්‍ය තිබූ බව , හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය ද ඊයේ (21) නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ ය.