ශ්‍රී ලංකාව තවත් අමාරුවේ වැටෙයි..

ලකුණු 450 පසු කළ බංග්ලාදේශයෙන් ශතක 2ක්: ශ්‍රී ලංකාව තවත් අමාරුවේ වැටෙයි..

by Staff writer 22-04-2021 | 8:46 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 474 ක් රැස් කර ගෙන සිටියේ ය. තරගය අද දෙවැනි දිනය සඳහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 302 ක් රැස් කර ගෙන සිටියේ ය. නායක මොමිනුල් හක් අද ටෙස්ට් පිටියේ 11 වැනි ශතකය වාර්තා කළේ ය. ටෙස්ට් පිටියේ මංගල ශතකය වාර්තා කළ නජ්මුල් හුසෙන් ලකුණු 163 කට දැවී ගියේ ය. නායක මොමිනුල් හක් ලකුණු 127 යි. බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 449 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල විය. අනතුරුව තරගය යළිත් ආරම්භ කළ අතර අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි මුෂිෆිකර් රහීම් ලකුණු 43ක් සහ ලිටන් ඩාස් ලකුණු 25 ක් රැස් කර ගෙන සිටියේ ය. විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් ලබා ගත්තේය.