බැටික්ලෝ කැම්පස් ගැන විශේෂ තීන්දුවක්..

බැටික්ලෝ කැම්පස් කොතලාවල සරසවිය යටතට හෝ වෙනම සරසවියක් බවට පත් කරනවා - අධ්‍යාපන ඇමති

by Staff writer 22-04-2021 | 4:03 PM

COLOMBO (News 1st) : මඩකලපුව, පුනානිහි ඉදිකර ඇති බැටික්ලෝ විශ්වවිද්‍යාලය කොතලාවල විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස හෝ වෙනම විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, දැනට පවතින බැටික්ලෝ විශ්වවිද්‍යාලයට උපාධි ප්‍රධානය කිරීමේ බලයක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් කිසිසේත්ම ලබා දී නොමැති බවය.
එම විශ්වවිද්‍යාලයේ ඇති සම්පත් රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිත කරන්නේ කෙසේද යන්න තීරණයක් ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා - ''ගිය අවුරුද්දේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් අපි ඇතුළත් කරගත්තේ 30,000ක පමණ ප්‍රමාණයක්. නමුත් මෙවර සිසුන් 41,500ක් පමණ ඇතුළත් කර ගන්නවා. අපේ රටේ දැනට විශ්වවිද්‍යාල 16ක් තියෙනවා. ලබන මාසයේ 17 වැනි විශ්වවිද්‍යාලයත් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව බැටික්ලෝ කැම්පස් එක ගැන ලබා ගන්නට තීරණ 2 ක් තිබෙනවා. එකක් තමයි දැනට ක්‍රියාත්මකවන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට තවත් මණ්ඩපයක් වශයෙන් මෙය ලබාදීමට. එම විශ්වවිද්‍යාලය මගින් මෙවර වෛද්‍ය සිසුන් 100ක් පමණ ඇතුළත් කරගනු ලැබුවා. ඒ වගේම එහි අලුතින්ම විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නටත් අදහස් කොටගෙන තිබෙනවා. මේ විකල්ප දෙකෙන් හොඳම තීරණය රට වෙනුවෙන් ගන්නට අපි ක්‍රියා කරනවා''