අසාධාරණයට එරෙහිව නැගී සිටීම ගැන ආඩම්බර වෙනවා..

''බල පුළුවන්කාරකම් සහ වෘත්තිය ගරුත්වය කෙළෙසීම් දුටු විට නොදැක්කා සේ සිටිය නොහැකි වුණා'' - කැරොලයින් ජූරි

by Sagarika Chathumali 22-04-2021 | 4:33 PM

COLOMBO (News 1st) : 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගයේදී සිදුවූ බලපෑම්, බල පුළුවන්කාරකම් සහ වෘත්තිය ගරුත්වය කෙලෙසීම් දුටු විට තමාට එය නොදැක්කා සේ සිටිය නොහැකි වූ බව කැරොලයින් ජූරි පවසයි.

ලෝක විවාහක රූ රැජිණ කිරුළ අත් හරින බව දන්වමින් එහි සංවිධායකවරුන්ට යොමු කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ, විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ අසාධාරණකම් පිළිබඳව ඉව වැටුණු මොහොතේ සිට ඒපිළිබඳව ප්‍රශ්න කළ බවයි. තව ද අවසන තරගයේ විනිශ්චය මණ්ඩලයෙන් තමා ඉල්ලා අස්වන බව ලෝක විවාහක රූ රැජිණ සංවිධායකවරුන්ට පවා දැන්වූ බව ද එහි සඳහන් ය. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ලෝක විවාහක රූ රැජිණ කිරුළ වෙනුවෙන් වන තරගය යනු තමන්ගේ සිහින ජය ගැනීමට වෙහෙස වන විවාහක කාන්තාවන්ගේ තරග වේදිකාව බවත් ලෝක විවාහක රූ රැජිණ කිරුළ කිසි ලෙසකින් තරග නීතිරීතිවලින් රිංගායෑම්, අයුතු බලපෑම් කිරීම් සහ අසාධාරණය නියෝජනය නොකරන බවත් ය.
''මා පෙනී සිටියේ, කිසිදු අසාධාරණයකින් හෝ අයුතු බලපෑමකින් තොරව තමන්ට සමාන සහ සාධාරණ ලෙස සලකනු ඇතැයි, බලාපොරොත්තුවෙන් ඒ තරගයට ආ සියලුම තරගකාරියන් වෙනුවෙනි... එක් තරගකාරියක් පමණක් හෑල්ලුවට හෝ අපහසුතාවට ලක් කිරීමෙන් තමා උපයාගන්නා කිසි දෙයක් නැත...''
අසාධාරණයට එරෙහිව පෙනී සිටිම ගැන සැබවින්ම ආඩම්බර වන බව සඳහන් කරන ජූරි ලෝක විවාහක රූ රැජිණ සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ලෝක විවාහක රූ රැජිණ තේරීමේ ජාත්‍යන්තර තරගරය සැලසුම් කළ පරිදිම මෙරටදී පවත්වන ලෙසයි.