දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,000ක් දක්වා ඉහළට

දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,000ක් දක්වා වැඩි කිරීමේ තීරණයක්

by Sagarika Chathumali 22-04-2021 | 9:35 AM

COLOMBO (News 1st) : දිනක් තුළ සිදු කරන අවම PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,000 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීම සඳහා විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. මීට අමතරව කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමෙදී ගත් අනෙක් තීරණ පහත පරිදි වේ.   * දැඩි සත්කාර ඒකකවල ඇදන් ධාරිතාව වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය high floor ඔක්සිජන් ලබා දීම. * දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබා දීම. *කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් සකස් කිරීම. * ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම. * කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සඳහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබා දෙන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම. * නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දීම. * විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම. ඊයේ පැවති මෙම විශේෂ සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ,සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.