වැඩිම කොරෝනා ආසාදිතයින් කුරුණෑගලින්

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න..

by Sagarika Chathumali 22-04-2021 | 10:15 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 578 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 51 දෙනෙකු සහ විදේශීය ජාතිකයින් 11 දෙනෙකු ආසදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ. ඉතිරි ආසාදිතයින් 516 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. දේශීයව හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 171 කි. ඊට අමතරව, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51 ක්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 43 බැගින් වාර්තා වේ. සෙසු ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ,දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලිනි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 98,050ක් වන අතර ඉන් 93,668 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ආසාදිතයින් 3, 752 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. මේ අතර ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තාවී ඇති අතර එම මරණ වාර්තා වී ඇත්තේ, සෙවනගල, ජා ඇල, රත්නපුර, කැලණිය සහ ගම්පහ යන ප්‍රදේශවලිනි. ඒ අනුව, අද (22) උදෑසන වනවිට ‍මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව 630 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 107 ක් තුළ පුද්ගලයින් 10,666 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (21) දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 7,548 කි. මේ අතර කුරුණෑගල, ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඊයේ (21) රාත්‍රීයේ නිවේදනය කළේ ය.