වරාය නගර කෙටුම්පතට ආණ්ඩුවෙන් තවත් සංශෝධන..

කොළඹ වරාය නගර කෙටුම්පතට ආණ්ඩුවෙන් තවත් සංශෝධන..

by Staff writer 22-04-2021 | 9:47 PM

COLOMBO (News 1st) –  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පතට ඉදිරිපත් කරන සංශෝධන කුමක්දැයි අධ්‍යයනය කර හෙට(23) නිශ්චිතව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පස්වරුවේ නීතිපතිවරයාට දැනුම් දුන්නේ ය.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විභාගයේදී සිය දේශනය පවත්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීර් මහත්මිය විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේ , පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී එම පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කිරීමට රජය තීරණය කර ඇති බවයි. එම සංශෝධන කුමක්දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී ලිපියක් මගින් අධිකරණයට පෙන්වා දුන්නා ය. කෙසේ නමුත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පෙර අතරමැදි පාර්ශ්වකරුවෙකු ලෙස එම පෙත්සම් විභාගයට මැදිහත් වී තිබූ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ , එම පනත් කෙටුම්පත සංශෝධනයට ලක් කිරීමට පියවර ගන්නා බවට සිය සේවා දායකයා උපදෙස් ලබා දී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාට ලබා දී තිබූ උපදෙස් හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ කරුණු අතර යම්කිසි පරස්පරතාවක් ඇතිවිය හැකි බැවින් දෙපාර්ශ්වය විසින්ම ඉදිරිපත් කළ සංශෝධන අධ්‍යයනය කර තම අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නැයි විනිසුරු මඩුල්ල එහිදී දැනුම් දුන්නේ ය. මේ අතර අද පෙරවරුවේ අතරමැදි පාර්ශ්වකරුවන් වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් යෝජිත කොමිසන් සභාවේ සාමාජිකයින් අතරින් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් පත් කළ හැකි පරිදි පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවට තමන්ට උපදෙස් ලැබී ඇතැයි අධිකරණය හමුවේ කියා සිටියේ ය. යෝජිත වරාය නගර විශේෂ ආර්ථික කලාපය දැනට රටේ පවතින ආයෝජන නීති , ඉඩම් නීති හා ව්‍යාපාර නීති මෙන්ම දේශිය ආදායම් බදු නීතිය ඉක්මවා යන පනත් කෙටුම්පතක් වන්නේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නා ය. අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ, පාර්ලිමේන්තුවේ , ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ සන්නද්ධ සේනාවල ප්‍රධානියා මෙන්ම රටේ විධායක ජනාධිපතිවරයා ද වන රාජ්‍ය නායකයාට , ඉඩම් පනතේ 8 වන වගන්තිය අනුව වෙරළබඩ ප්‍රදේශවල පිහිටි ඉඩම් රජයට පවරා ගැනීමට මෙන්ම මුහුද ගොඩකර ඉඩම් නිර්මාණය කිරීමේ බලය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම බලතල පැවරී ඇති බවයි. මේ සම්බන්ධ පෙත්සම් විභාගය හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල තිරණය කළේ ය.