CID හිටපු අධ්‍යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

CID හිටපු අධ්‍යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

by Staff writer 21-04-2021 | 4:52 PM

COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 5 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ , ඔවුන්ට එරෙහි නඩුව අද පෙරවරුවේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි, කියන සිද්ධිය සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ලවී තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු සෙසු සැකකරුවන් වන්නේ , ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන අයයි. නඩුවේ තුන්වෙනි සැකකරු ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සම්බන්ධයෙන් අධිකරණයේදී කිසිවක් සඳහන් වී නොමැත. මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණවලට අදාළ , පරීක්ෂණ ගොනුව නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ ය. සිව් වැනි සැකකරු ලෙස නම් කර සිටින නවරත්න ප්‍රේමතිලක ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති නිසා ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ බව ද ප්‍රකාශ විය. සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කර සැකකරුවන් තිදෙනා ව ලබන පස් වැනිදාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.