වරාය නගර කෙටුම්පත වහල් මානසිකත්වයෙන් හදපු එකක්

වරාය නගර කෙටුම්පත දීන වහල් මානසිකත්වයෙන් සකස් කළ එකක්, අලුත් කෙටුම්පතක් හදන්න - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

by Staff writer 21-04-2021 | 10:24 PM

COLOMBO (News 1st) - වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ කෙටුම්පත ඉතාම දීන හා වහල් මනසිකත්වයකින් සකස් කළ එකක් බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

රටට අයත් වටිනා භූමියක් සූරාකෑමකට ලක් කරන මහාපරිමාණ දූෂණයකට පාර කපන්නක් බව උන්වහන්සේගේ මතයයි. අයෝජකයින්ට වැඩි වාසි අත්වන ලෙස වහල් හා පරගැති මානසිකත්වයකින් යුතුව මෙම නීතිය සකස් කර ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙන්නේය. උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කෙටුම්පතේ සඳහන් වගන්ති අනුව ඉඩම් භුක්ති විදීම සම්බන්ධයෙන් සඳහන් වගන්තිවලට අනුව විකිණීම අභිබවා ගිය භුක්ති විදීමේ අයිතියක් හිමිවන බවය. එම්.සී.සී. ගිවිසුම, සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අකාරයටම මෙම කෙටුම්පත ද වරාය නගර ව්‍යපෘතිය කඩාකප්පල් කිරීමේ විදේශීය සැලසුමකට අනුව දේශීය නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන් සකස් කර තිබේදැයි සැක මතුවන බව එහි සඳහන්ය. මේ අනුව අදාළ පනත් කෙටුම්පත වෙනුවට වරාය නරගයෙන් ශ්‍රී ලංකාවට උපරිම ප්‍රතිලාභ අත්වන නව කෙටුම්පතක් ඉදිරිපත් කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.