නව කොරෝනා වෛරස් ප්‍රභේදයක්

මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් හඳුනා ගනී - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

by Staff writer 21-04-2021 | 2:34 PM

COLOMBO (News 1st) - මෙරට තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවණතාවය යළි වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් ද පසුගිය දවස් කිහිපය තුළ දී මෙරටින් හඳුනාගෙන ඇති බවය. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය දැනටමත් සිදු වන බව ද එම නිවේදනයේ සඳහන් වේ. එබැවින් සියලුදෙනා මෙම වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද සෞඛ්‍ය බලධාරීන් පවසයි. එළඹෙන කාල පරිච්ඡේදය පුරා යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට සියලු දෙනා සහය විය යුතු බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර කොරෝනා ආසාදිතව මෙරට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 625 ක් දක්වා ඉහළ ගියේය. ඒ ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමගයි. මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 97 472 ක් දක්වා ඉහළ ගියේය. ඒ, ඊයේ දිනයේ නව ආසාදිතයින් 345 දෙනෙකු වාර්තා වීමත් සමගිනි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 3305 කි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවැසුවේ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 93547 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවය.