''යුක්තිය ඉටු වන තුරු සටන ගෙනියනවා''

''පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වන තුරු සටන ගෙනියනවා'' - කාදිනල් හිමිපාණන්

by Sagarika Chathumali 21-04-2021 | 11:45 AM

COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය ඉතිහාසයට එක්වන තවත් එක් ඛේදවාචකයක් කර, සත්‍ය වළ දමා වැරදිකරුවන් නිවැරදිකරුවන් කිරීමේ සංවිධානාත්මක ප්‍රයත්නයට සම්බන්ධ වීමට කිසිසේත්ම සූදානම් නොමැති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

කාදිනල් හිමිපාණන් මේ බව පැවසුවේ, පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ වින්දිත පිරිස් සිහි කරමින් අද (21) උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවති ප්‍රධාන දේව මෙහෙයෙන් පසු සභාව අමතමිනි. 2019 අප්‍රේල් 21 ම්ලේච්ඡ ඝාතනයට වසර 2ක් සම්පූර්ණ වුවත් මෙම බරපතල අපරාධය සිදු කළේ කවු ද? කුමන හේතුවකට ද? කාගේ වුවමනාවකට ද? යන්න හෙළි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඊට අදාළ රජයේ අනෙකුත් ආයතනත් තවදුරටත් අසමත් වී තිබීම ප්‍රශ්නාර්ථයක් බව උන්වහන්සේ එහිදී පැවසූහ. කාදිනල් හිමිපාණන් ප්‍රශ්න කර සිටින්නේ, සෙසු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණවල ප්‍රතිඵල කාර්යක්ෂමව සිදුවී අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමේ ක්‍රමවේදය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමා වන්නේ ඇයි ද යන්නයි. දරුවන් 68 දෙනෙකු ඇතුළු 269 දෙනෙකුට ජීවිත අහිමි වූ අපරාධය සම්බන්ධයෙන් එදා පැවති රජයෙත්, පවතින රජයෙත් උදාසීන බව සහ ලිස්සා යන සුළු ක්‍රියා පිළිවෙත ගැන බලවත් ශෝකයක් පවතින බව අවධාරණය කළ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙම ක්‍රියාදාමය පිටුපස දේශපාලන කරුණු ඇති බව පැහැදිලි වන බවයි. අපරාධය සිදුව වසර 02ක් ඉක්ම ගිය ද සංවිධානාත්මත අපරාධය පිළිබඳ අපක්ෂපාතී පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට බලධාරීන් සමත්ව නොමැති බව උන්වහන්සේ පැවසූහ.
''මෙයට හේතුව දේශපාලන යාන්ත්‍රණය මෙහෙයවන ඇතැම් දූෂිතභාවයන් සහ ආත්මාර්ථකාමී බල අරගලයන් යැයි අපේ විශ්වාසයයි''
තව ද පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතු බව අවධාරණය කරමින් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු විවාදවලදී මතු කළ කරුණු කෙරෙහි සිය අවධානය යොමු වී ඇති බවයි.
''මෙම විවාදයන්හිදී නැගූ ඇතැම් ප්‍රශ්න හරහා විශේෂයෙන් පාස්කු දින ප්‍රහාරයේ සත්‍ය සම්බන්ධයෙන් ඇති වූ විවාදයේදී රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඉහළම තනතුරු දරන අය සම්බන්ධයෙන් මතභේදයට තුඩු දෙන කරුණු පැන නැගී ඇති බැවින් එම පුද්ගලයින් හා කාරණා සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වෙනවා..''
තව ද සමාව දීමට සූදනම් වුවත් කුමන්ත්‍රණය පිළිබඳ ඇත්ත දැන ගැනීමට අයිතියක් ඇති බව ද උන්වහන්සේ සිය දේශනයේදී අවධාරණය කළහ.
''එය එසේ වුවත් සමාව දීමට නම්, වැරදිකරුවන් කවුරුන් ද ඔවුන් ඒ ගැන පසුතැවිලි වන්නේ ද? වරද පිළිගන්නේ ද? යන්න පළමුව පැහැදිලි විය යුතුයි''
සත්‍ය සොයා යාමේ වැඩපිළිවෙළ විනිවිද හා පිළිගත හැකි මට්ටමින් ඉදිරියට ගෙන යාම මේ මොහොත වන වටිත් සිදුව නැතැයි, පැවසූ කාදිනල් හිමිපාණන් අවධාරණය කර සිටියේ, යුක්තිය ඉටු කරන තුරු සාධාරණය සටන ඉදිරියට ගෙන යන බවයි.   https://youtu.be/mX6bEADpF7A