Port City ගැන අසුබවාදීව සිතන්න එපා..

චීනය දීර්ඝ කාලීන මිතුරෙක් නිසා Port City මෙහෙයුම් චීනය අතට පත්වීම අසුබවාදීව සිතන්න එපා.. - ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා

by Staff writer 21-04-2021 | 10:38 PM

COLOMBO (News 1st) - කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් විමසා බැලීම අදත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවිය.

පෙත්සම් විභාගයට අතරමැදි පාර්ශ්වකරුවෙකු ලෙස සම්බන්ධ වී සිටින ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්විය. ඔහු කියා සිටියේ චීනය අප රටේ දීර්ඝ කාලීන මිතුරෙකු වන නිසා කොළඹ වරාය නගර ආර්ථික කලාපය මෙහෙයවීමේ කටයුතු චීන ජාතිකයින් අතට පත්වීම සම්බන්ධයෙන් කිසිවෙකු අසුබවාදීව නොසිතිය යුතු බවය. එය එක්තරා දුරකට ශ්‍රී ලාංකීකයින්ට සතුටු විය හැකි කරුණක් බව ජනාධිපති නීතිඥවරයා සදහන් කළේය. රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ කොළඹ වරාය ආර්ථික කලාපය චීන කොලනියක් බවට පත් කරමින් සිටින බවට ඇතැම් නීතිඥයින් චෝදනා කරනුයේ ද චීන රජය විසින් ඉදිකර පරිත්‍යාග කළ උපරිමාධිකරණ සංකීර්ණය තුළ සිටම වීම එක්තරා දුරකට හාස්‍යයට කරුණක් බවය. එම කොමිෂන් සභාවේ සියලු සාමාජිකයින් පත් කරනුයේ ජනාධිපතිවරයා විසින් වන බැවින් එමගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව කිසිදු අයුරකින් උල්ලංඝණය නොවන බව ද ඔහු අවධාරණය කළේය. පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙන පරිදි කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්නි රටේ ඒකීය භාවයට හා ව්‍යවස්ථාවට පටහැනි බව බැලූ බැල්මට පෙනී යන බැවින් ඒවා සංශෝධනය කළ යුතු බව පිළිගන්නේ දැයි විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා මෙහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගෙන් විමසා සිටි අතර තමන් ද ඒ බව පිළිගන්නේ යැයි ජනාධිපති නීතිඥවරයා එහිදි පිළිතුරු දුන්නේය.