පොලිස් නිලධාරියා ෆ්ලොයිඩ් ඝාතනයේ වැරදිකරු වෙයි

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: බෙල්ල සිර කරගෙන සිටි පොලිස් නිලධාරියා වැරදිකරු වෙයි

by Staff writer 21-04-2021 | 8:09 AM

COLOMBO (News 1st) - අමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට හිටපු මීනියාපොලිස්, පොලිස් නිලධාරී ඩෙරෙක් චොවින් වැරදිකරු වෙයි.

සති 03ක නඩු විභාගයකින් සහ පැය 10 ක සාකච්ඡාවකින් පසුව, 12 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාව නිගමනය කළේ, පොලිස් නිලධාරී ඩෙරෙක් චෝවින් චෝදනා තුනටම වැරදිකරු බවය. ඒ අනුව, ඇප මත සිටි, චෝවින්ගේ, ඇප වහා අවලංගු කිරීමට එරට අධිකරණය පියවර ගත්තේය. සති 8ක දඬුවම් මෙන්ම දශක ගණනාවක්, ඔහුට සිරගත වීමට සිදුවනු ඇතැයි, එරට අධිකරණ විශ්ලේෂකයින් පෙන්වා දෙයි. ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වැරදිකරු ලෙස, ඩොරෙක් චෝවින් නම් කරමින් , තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග මීනියාපොලිස් වෙත රැස්ව සිටි ජනතාව ප්‍රීති ඝෝෂා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය . කළු අමෙරිකාවට යුක්තිය යනු සමස්ත අමෙරිකාවටම යුක්තියයි යනුවෙන්, ජොර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බෙන්ජමින් ක්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය . එහි වැඩිදුරටත් සඳහන් වූයේ, මෙය නීතිය ක්‍රියාත්මක වීමේ වගවීම සඳහා අමෙරිකානු ඉතිහාසයේ හැරයුම් ලක්ෂයක් බවය. 46 හැවිරිදි ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාසතනයට හේතුව, චෝවින් විසින් විනාඩි 6 යි තත්පර 29 ක්, ඔහුගේ බෙල්ල දණහිසෙන් තද කිරීම බව, ජූරි සභාව නිගමනය කළේය.