කොළඹ වරාය නගරයේ හිමිකාරීත්වය කාට ද?

LTTEයට බිම් අ‌‌ඟලක් අල්ලන්න බැරි වුණා, රජය ''Port City'' හරහා වෙනම රාජ්‍යක් හදන්න ප්‍රතිපාදන සකසලා - විජයදාස රාජපක්ෂ

by Staff writer 20-04-2021 | 8:24 PM

COLOMBO (News 1st) - එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවුරුදු 30ක් යුද්ධ කර රටේ බිම් අඟලක් හෝ අල්ලා ගැනීමට නොහැකි වුවත් වත්මන් රජය කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත මගින් වෙනම රාජ්‍යයක් බිහි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර ඇතැයි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

ඔහු කියා සිටියේ, මොන්ටි වීඩියෝ සම්මුතියට අනුව වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය සියලු සාධක මෙම කෙටුම්පත හරහා කොළඹ වරාය නගරයට ලබා දී ඇති බවය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගොනු කළ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්විය. ඔහු කියා සිටියේ, මෙම කෙටුම්පතෙන් පිහිටුවන කොමිසම ජනාධිපතිවරයාගේ වෙන්දේසිකරුවෙකු ලෙස වරාය නගරයේ ඉඩම් විකිණීමට හෝ බදු දීමට පමණක් ක්‍රියා කරනු ඇති බවය. කෙටුම්පතේ ඇතුළත් වගන්ති වලින් රටේ දැනට ක්‍රියාත්මක සමස්ත නීති පද්ධතියම බිඳ වැටෙන බව ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය. ඔහු කියා සිටියේ, රේගු ආඥා පනත කොළඹ වරාය නගරයට අදාළ නොවන්නේ නම් න්‍යෂ්ටික අවි ඇතුළු වෙනත් තහනම් ද්‍රව්‍ය රට තුළට ඇතුළුවීම වැළැක්විය නොහැකි බවය. මෙය ජාතික ආරක්ෂාවට සහ රටේ ස්වෛරීභාවයටත් බරපතල තර්ජනයක් බව විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රජීව අමරසූරිය මහතාගේ පෙත්සම වෙනුවෙන් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙන්වා දුන්නේ වරාය නගර කලාපය තුළ දේශීය පරිපාලනයක් නොමැති බැවින් එහි සිටින ජනතාවට ඡන්ද අයිතිය අහිමි වන බවය. එමගින් ව්‍යවස්ථාවේ තුන්වන හා හතරවන වගන්ති උල්ලංඝණය වන බැවින් මෙය ව්‍යවස්ථාවට පටහැනි බව ද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ, එම කොමිසම මගින්ම නියම කර රැස් කරනු ලබන බදු සහ ගාස්තු රටේ ඒකාබද්ධ අරමුදලට බැර නොවී කොමිසමේ අරමුදලකට බැරවන බවය. එමගින් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට පවරා ඇති මුදල් බලය උල්ලංඝණය වන බව ඉගලහේවා මහතා කියා සිටියේ ය. පනත සකස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් උනන්දුවන පාර්ශව සමග සාකච්ඡා නොකිරීම ද දුර්වලතාවයක් ලෙස ඔහු පෙන්වා දී තිබේ. නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වෙනුවෙන් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ ඉක්රාම් මොහොමඩ් මහතා පැවසුවේ, වරාය නගර පරිපාලනය සඳහා පත් කෙරන කොමිසමේ සියලු දෙනාම විදේශිකයින් වීමට ද කිසිදු බාධාවක් නොමැති බවය. එවැනි තත්ත්වයකදී මෙම විදේශිකයින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබාදෙනු ඇතැයි සහතික වන්නේ කෙසේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළේ ය.