"ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ගමනාන්තයක් කර ගන්න"

ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ගමනාන්තයක් කර ගන්න - ජනපති විදෙස් රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලයි

by Staff writer 20-04-2021 | 7:38 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ගමනාන්තයක් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බොආඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කර තිබේ.

ඒ, චීනයේ හයිනෑන්හි, බොආඕ නගරයේ පැවැත්වෙන බෝආඕ (BOAO) සමුළුව අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, රටේ ආර්ථිකය ශක්තිමත් කරන අපනයන අරමුණු කරගත් ආයෝජන අවස්ථා පුළුල් කිරීම රජයේ අරමුණ බවය. ඒ ආශ්‍රිත ආයෝජන අවස්ථාවන්ට සිය රටවල ආයෝජකයන් ධෛර්යමත් කරන ලෙස ජනාධිපතිවරයා සමුළුව අමතමින් රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා තිබේ. “වෙනස් වන ලෝකයක්, ගෝලීය පාලනය සහ සේද මාවත ප්‍රවේශය දියුණු කිරීමට අත්වැල් බැඳගමු” යන්න මෙවර සමුළුවේ තේමාවයි. අප්‍රේල් 18 වැනි දා ඇරඹී සිව්දින සමුළුවේ තෙවන දිනය අදයි. රටවල් 29 ක් සමාජිකත්වය දරණ බෝආඕ සංසදයේ මූලස්ථානය චීනයේ පිහිටා තිබේ. ආසියාවේ සහ ලෝකයේ සාමය, සමෘද්ධිය සහ තිරසාර සංවර්ධනයට දායකවීමට සංසදය කැපවී සිටී. නවසිලන්තය, මොංගෝලියාව, බෘනායි, සිංගප්පූරුව, වියට්නාමය, බංග්ලාදේශය, කාම්බෝජියාව ඇතුළු රටවල් 15 ක රාජ්‍ය නායකයෝ අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතනු ලැබූහ.