ඇත්තටම රුපියල ශක්තිමත් වුණා ද?

රුපියල ශක්තිමත් වීමේ සැබෑ වාසිය රටේ ජනතාවට ලැබෙනවා ද?

by Staff writer 20-04-2021 | 9:58 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ක්‍රමයෙන් ශක්තිමත් වූ රුපියල අද යළිත් දුර්වල විය.

අද(20) ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 195 සත 21කි. අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය සතියේ රුපියල් 203 ඉක්මවා ගියේ ය. නමුත් ඊයේ දිනය වනවිට එය නැවතත් ශක්තිමත් වෙමින් රුපියල් 191 ක් දක්වා අඩු විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ වාණිජ බැංකුවල ඩොලර් අලෙවිකරණ මිල තවමත් ඉතා ඉහළ අගයක් ගන්නා බවය. චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් අපේ රටට ලැබීමත් සමග ශක්තිමත් වූ රුපියල දැන් යළිත් දුර්වල වෙමින් තිබේ. චීන ණය මුදලින් කොටසක් රුපියල ශක්තිමත් කිරීම සඳහා යෙදවුණා ද? එසේනම් එක්වරම රුපියල ශක්තිමත් කළේ ඇයි? දින කිහිපයක් තුළ රුපියල ශක්තිමත් කිරීම කිසියම් ආනයනකරුවෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ මුදල් ගෙවීම් කිරීම සඳහා වාසියක් අත්කරදීම සඳහා සිදු කළ දෙයක් ද? නැත්නම් රටින් පිටරටකට මුදල් යැවීම සඳහා කෘත්‍රිමව වෙළෙඳපොළ මෙහෙවීමක් සිදුවුණාද? රුපියල ශක්තිමත්වීමේ සැබෑ වාසිය රටේ ජනතාවට ලැබෙනවා ද?