පිලිප් කුමරු නික්ම යයි..

රජ පවුලේ තවත් පරිච්ඡේදයකට තිත තබමින් පිලිප් කුමරු නික්ම යයි..

by Chathurika Jayasundara 18-04-2021 | 10:41 AM

COLOMBO (News 1st) : දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජකීය ගෞරව සහිතව ඊයේ (17) සිදු විය.

ඒ, වින්සර් මාලිගය, ශාන්ත ජොර්ජ් දේවස්ථානය දේවස්ථානය සහ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ය. රාජකීයයන් විසින් "ජාතියේ සීයා" ලෙස හඳුන්වන එඩින්බරෝ ආදිපාදවරයා මියයන විට 99 වැනි වියේ පසුවිය. මෙම රාජකීය අවමංගල්‍ය උළෙල සීමිත පැමිණීම් මධ්‍යයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කළ අතර, රජ පවුලේ සමීපතමයින් 30 දෙනෙකු පමණක් අවමංගල්‍ය උළෙලට සහභාගී විය. ඒ අනුව දෙවන එලිස‌බෙත් මහ රැජිණ , චාල්ස් කුමරු, කැමිලා පාකර් ආදිපාදවරිය, විලියම් හා හැරී කුමරු ඇතුළු රජ පවුලේ සමිපතම ඥාතීන් ඒ සඳහා සහභාගී විය. පිලිප් කුමරුගේ දේහය ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරට රැගෙන ගියේ, පිලිප් කුමරු ජීවත්ව සිටියදී ඔහු විසින්ම නිර්මාණය කළ විශේෂිත රථයකින් වීම විශේෂත්වයකි. පිලිප් කුමරුට ගෞරව පුද කරමින් ඊයේ මහා බ්‍රිතාන්‍යයේ ස්ථාන 09ක ආචාර වෙඩි මුර සහ විනාඩියක නිහඬතාවක් රකිමින් ගෞරව පිරිනැමුණි. රාජකීය කොරෝනා රෙගුලාසිවලට අනුව පිලිප් කුමරුගේ අවමංගල්‍ය සැලසුම් කර තිබූ අතර සන්නද්ධ හමුදා සමාජිකයින් 730 දෙනෙකු එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයට හැරී කුමරු පමණක් සහභාගී වී ඇති අතර , මේ වනවිට සිය දෙවන දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින හැරී කුමරුගේ බිරිඳ මේගන් මාක්ල් අවමංගල්‍ය උත්සවයට සහභාගී වී නොමැත.