ලොව පුරා කොරෝනා මරණ මිලියන 3 ඉක්මවයි..

ලොව පුරා කොරෝනා මරණ මිලියන 3 ඉක්මවයි..

by Chathurika Jayasundara 17-04-2021 | 9:35 PM

COLOMBO (News 1st) – කොරෝනා වසංගතයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , 2019 දී චීනයෙන් ව්‍යාප්ත වූ කොරෝනා ව්‍යසනය මේ වනවිට මිලියන 140 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් (Dr Tedros Adhanom Ghebreyesus ) අනතුරු අඟවන්නේ , කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යන බවය. පසුගිය මාස 2 තුළ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය සතිය තුළ දිනකට සාමාන්‍යයෙන් කොරෝනා මරණ 12,000 ක් වාර්තා වූ බවය. කෙසේ වෙතත්, බොහෝ රටවලහි නිල සංඛ්‍යා දත්ත අනාවරණය නොවේ. ඉන්දියාව කොරෝනා වසංගතය යම්තාක් දුරට පාලනය කර ඇති බවක් පෙනෙන්නට තිබුණ ද , නැවතත් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වර්ධනය වන්නට විය. මේ වනවිට ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 234,692 ක් වාර්තා වී වී ඇති අතර, එහි මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 14.5 කට ආසන්න වේ. එමෙන්ම ඊයේ දිනය තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 1,341 ක් වාර්තා වී තිබෙන අතර එහි සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 175,649 කි. නවදිල්ලි අගනුවර සති අන්තයේ lockdown කර ඇති අතර, තවත් ප්‍රාන්ත කිහිපයකම සීමාවන් පනවා තිබේ.