මී උණ නිසා මාතර ගොවීන් දෙගිඩියාවෙන්..

මී උණ නිසා මාතර ගොවීන් දෙගිඩියාවෙන්..

by Staff writer 17-04-2021 | 10:24 PM

COLOMBO (News 1st) –  පැතිර යන මී උණ රෝගය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ගොවීන් දෙගිඩියාවෙන් සිටී.

මාතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල බිම් සැකසන අයුරු මේ දිනවල දැකිය හැකියි. මහකන්නයේ වගාව අතරතුර ප්‍රදේශ කිහිපයකම මී උණ රෝගයේ වැඩිවීමක් දක්නට ලැබුණු බැවින් යළ කන්නයේ ද එම තත්ත්වයම උදා වේ දැයි ගොවීන් බියෙන් පසුවෙයි. ජනතා අදහස් -
"පොඩි තුවාලයක් හරි පොඩි සීරීමක් හරි තියාගෙන කුඹුරට බැස්සට පස්සේ ඒ ගොවියො වෙන අපිටත් අන්තිමේදී මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ මී උණ කියන එක" "මට මී උණ හැදුණා දෙයියන්දර හොස්පිටිල් එකේ ප්‍රතිකාර කළා. සතියක් විතර වගේ එක තැන උන්නා"
දෙයියන්දර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය චමින්ද කුමාර මහතා
"කුඹුරට බහිනවා නම් මී උණ වළක්වගන්න දෙන ඖෂධ තියනවා. ඒ ඖෂධ නිසි ආකාරයට ගන්න ඕන.ඒක ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන් ප්‍රදේශයේ MOH එහෙම නැත්නම් PHI මහත්මයා හම්බවුණාම.කුඹුරු ආශ්‍රිතව වැඩ කරපු කෙනෙක් නම් ඔබට උණ තියනවා නම් , ඇඟපත කැක්කුම ඇති වෙනවා නම්, ඇස් රතු වෙලා වගේ තියනවා නම් , මුත්‍ර දැවිල්ලක් වගේ තියනවා නම් ඒ වගේ රෝග ලක්ෂණ තියනවනම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් කරා ඉක්මනටම යන්න ඕන"
ගොවීන්ට මෙන්ම කුඹුරු ආශ්‍රිතව ක්‍රීඩා කරන දරුවන්ටත් නිවෙස්වල සිටින කාන්තාවන්ටත් මී උණ ව්‍යාප්ත වීමේ තත්ත්වයක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ මාතර දිස්ත්‍රික් සභාපති එම්.ඒ.සී. ප්‍රසාද් මහතා
"මේ කන්නයේදී කන්නය ආරම්භ වීමත් සමගම අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ කෘෂිකාර්මික කටයුතුවල නිරත වෙනවනම් තමන්ගේ ශරීරයේ තුවාලයක් සීරීමක් තියනවා නම් ඒ ස්ථාන ආවරණය කරගෙන මේ කුඹුරු කටයුතුවල යෙදෙන්න. කාන්තාවන් මී උණ රෝගයට ගොදුරු වෙන්නේ නිවසේ සිටින මීයන්ගේ මුත්‍රාවලින් මී උණ ඇතුළු වෙලා. නිසි පරිදි කසළ බැහැර කිරීම සිද්ධ කරනවා නම් මේ ගෘහණියන්ට ගෙවල්වල ළමයිට මී උණ හැදීමේ අවදානම අඩු වෙනවා"
රෝගය ගැන නිසි දැනුවත් කිරීමක් ප්‍රාදේශීය මට්ටමින් සිදු කරන්නේ නම් බෙහෙවින් වැදගත් බව ගොවීන් සඳහන් කළේ ය.