පක්ෂ 6ක් තාවකාලිකව අක්‍රිය කිරීමට තීරණයක්

නීතිමය කටයුතු නිසා පක්ෂ 6ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර - මැතිවරණ කොමිසමේ

by Staff writer 16-04-2021 | 7:07 AM

COLOMBO (News 1st) - පක්ෂ අභ්‍යන්තරයේ පවතින මත ගැටුම් හේතුවෙන් දැනට අධිකරණ ක්‍රියාවලි වෙත යොමු වී ඇති පක්ෂවල ක්‍රියාකාරීත්ව තාවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එවැනි පක්ෂ 6ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවය. එම පක්ෂවල ලේකම් ධුර, සභාපති ධුර ඇතුළු තනතුරු සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු ඉදිරිපත් වීම හමුවේ නීතිමය ගැටලු මතු වී ඇති බැවින් එම පක්ෂ අදාළ ගැටලු විසඳා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී තිබේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ, එම අධිකරණ කටයුතු අවසන් වනතෙක් අදාළ පක්ෂ තාවකාලිකව අක්‍රිය කිරීමට තීරණය කර ඇති බවය. ඒ අනුව අදාළ නීතිමය කටයුතු අවසන් වනතෙක් එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි නොවන බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, අදාල පක්ෂවලට අගතියක් වන බැවින් එම පක්ෂවල නම් හෙළි කළ නොහැකි බවය.