''එතුමා ඉතා පහත් මට්ටමින් මට කතා කළා'' - විජයදාස

''ජනාධිපතිවරයෙක් තර්ජනය කරන‌ කොට ජීවිත ගැන බයක් තියෙනවා'' - විජයදාස රාජපක්ෂ

by Staff writer 16-04-2021 | 1:28 PM
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත ඇතුළු ආණ්ඩුවේ ඇතැම් තීරණ විවේචනය කරමින් තමන් ඊයේ (15) කළ කතාවට අද උදෑසන ලැබුණු ප්‍රතිචාර පිළිබඳව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළේ ය. මන්ත්‍රීවරයා කළ  ප්‍රකාශය පහතින්...  
''පහුගිය කාලයේ මේ ජනාධිපතිවරයා පත්කරගන්න අපි හුගක් මහන්සි වුණා.මේ ජනාධිපතිවරයා අපි පත් කරගනිද්දි මුළු රටේ ම ජනතාවට ගිහිල්ලා ගමින් ගමට ගිහිල්ලා අපි කිව්වෙ, මේ ජනාධිපතිතුමා යටතේ අපේ රටේ රාජ්‍ය සම්පත් අපි ආරක්ෂා කරනවා. පිටට විකුණලා තියෙන ඒවා දීලා තියෙන ඒවා අපි ආපහු ගන්නවා. ඒවගේ ම හොරු දූෂිතයෝ ආණ්ඩුව ඇතුළට ගන්නෙ නැහැ. හොඳ නීතියේ ආධිපත්‍ය ඇති යහපත් රටක් අපේ දූ දරුවන්ට ඉන්න පුළුවන් විදියට හදලා දෙනවා කියන එක නමුත් අපි පහුගිය කාලයේ දැක්කා. මේ රටේ සීනි බදු වංචාවක් වුණා. රජයට පාඩු කරමින් ඒ වගේම පිළිකා කාරක පොල් තෙල්තෙල් ගෙනල්ලා කූඨ ව්‍යාපාරිකයො මේ රටේ ජනතාවට පරිභෝජනය කරන්න දුන්නා. රජ‌යේ ආයතන ඒ කූඨ ව්‍යාපාරිකයින්ට මේ විෂබීජ සහිත පිළිකා කාරක සහිත පොල්තෙල් ආනයනය කරන්න සහයෝගය ලබා දුන්නා. වර්තමානයේ කොළඹ වරාය නගරය ගැන මම කතා කරනවා. එ සඳහා පනත් කෙටුම්පතක් හොර රහසේ ම හදලා පර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපිව දැනුවත් කිරීමක් ආණ්ඩු පක්ෂය දැනුවත් කිරිමක් සිද්ධ වුණේ නැහැ. එතකොට ඒ පනතේ තියෙන භයානක ප්‍රතිඵල පිළිබඳව මම ඊයේ අතිපූජනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන්ගේ පන්සලේ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේකෙ තියෙන භයානක ප්‍රතිඵල රටට හෙළිදරව් කළා. අද (16) උදෑසන 9ට විතර අතිගරු ජනාධිපතිතුමා මට කතා කළා. දුරකතනයෙන් මම බලාපොරොත්තු වුණා. ර‌ටේ රාජ්‍ය නායකයා විදිහට අපේ රටේ රාජ්‍ය නායකයා කවුරු වුණත් අපි ගරු සරු ඇතිව ජනාධිපතිවරයෙකුට කතා කරනවා. බලාපොරොත්තු වුණා. එතුමාගේ දේශපාලන පරිනතභාවය අවබෝධය අඩු බව මම දන්නවා. ඒක නිසා මේ කතා කරන්නේ ඒ පිළිබඳව තිබෙන ගැටලු සාකච්ඡා කරලා අපි රටට යහපතක් වෙන විදියට කොහොමද මේක නිරාකරණය කර ගන්න ඔ්න කියලා අඩු ගානේ කතිකාවතක් ඇති කර ගන්න වෙන්න ඇති කියලා. නමුත් එතුමා කතා කරපු භාෂාව ඉතාමත්ම පහත් රාජ්‍ය නායකයෙකුට නොගැළපෙන ඒ වගේම මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලිව වෙවුලමින් එතුමා ඉතා පහත් මට්ටමින් මට කතා කළා. එම නිසා අකමැත්තෙන් නමුත් මටත් සිද්ධ වුණා. එතුමා ආමන්ත්‍රණය කරපු භාෂාවෙන් ම එතුමාට ප්‍රතිචාර දක්වන්න.. මේක ඉතාමත්ම නරක දෙයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පත්කරලා ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ජනතාවගේ අයිතිය සුරකින්න.. ඉතින් එහෙම කතා කරපු එක වරදක් විදියට දකිනව නම් රටේ රාජ්‍ය නායකයෙක් අපි කොහොම ද මේ රට නිවැරදි තැනකට ගෙනියන්නෙ, ඒ එක්කම එතුමා වැරදි වැටහීමක් ඇතුව කතා කළා. මම බැසිල් රාජපක්ෂ මැතිතුමා ගැන කතා කළා. අද ඊයේ නෙමෙයි, හමදාම ඔහු ගැන ඔහු දූෂිතයෙක් කියලා ප්‍රසිද්ධියෙ කියනවා. ඊයෙත් කිව්වා. දැන් ඒක එතුමගේ දරුවන්ට ආරෝපණය කර ගෙන මම කියපු විදියට තමයි එතුමා කතා කළේ, මම කිව්වා ඒක වරදවා වටහා ගන්න එපා. දරුවො කිසිසේත් සම්බන්ධ නැහැ. පැහැදිලිවම මම කිව්වා. මම කිව්වෙ ඒ ගොල්ලන්ගෙ දරුවන්ට ජීවත් වීම සඳහා සුදුසු සුරක්ෂිත දේශයක් නිර්මාණය කරලා ඒ රටවල පුරවැසිභාවය ඇතුව ජීවත් වෙනවා. හැබැයි මේ වරාය නගරයේ ගිවිසුම මේ පනත සම්මත කිරීමෙන් පස්සෙ අපේ රටේ අහිංසක දරුවන්ට අනාග‌තේ ජීවත් වෙන්න රටක් නැතුව යනන් ලොකු අවදානමක් තියෙනවා. ඉතින් ඒවගේ කාරණයක් කීම. ඒක මාධ්‍ය යේ ප්‍රචාරණය කිරීම ඒක බරපතළ දෝෂයක් විදියට දැකලා. අවේගශීලිව, පහත් අකාරයට මන්ත්‍රීවරුන්ට මෙහෙ තර්ජනය කරනවා නම්, ඒක ඉතා බරපතළ කාරණයක් අපිටත් ජනාධිපතිවරයෙක් එහෙම තර්ජනය කරන‌ කොට ජීවිත ගැන භයක් තියෙනවා. ඒ එක්කම පොලිස්පති තුමාට මේ පිළිබඳව මම දැනුම් දුන්නා. ඒ වගේම ලිඛිතව ඉදිරිපත් කරනවා කරුණු''
මෙවැනි වටපිටාවක් යටතේ දේශපාලන තීන්දුවත් ගන්නේ දැයි, මාධ්‍යවේදිහු මෙහිදී මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියහ. ඊට පිළිතුරු ලෙස විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, තමන් කුමන ආණ්ඩුව සමග සිටියත් තමා ස්වාධීන මතයක පිහිටා කටයුතු කළ බවයි. https://www.youtube.com/watch?v=OiG0UDTIHak