පැළ සිටුවිමේ නැකත අදයි

අවුරුද්ද වෙනුවෙන් පැළ සිටුවිමේ නැකත අදයි

by Staff writer 16-04-2021 | 6:40 AM

COLOMBO (News 1st) - අන් කවරදාකටත් වඩා පරිසරය ආරක්ෂා කිරීම සහ ගස් වැල් සුරකීම සම්බන්ධයෙන් රටේම අවධානය යොමු වී ඇති මොහොතක සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අද(16) පෙරවරුවේ යෙදී තිබේ.

මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම් ඉටු කිරීමට ලක්වාසීන් එක් වුණේ නැකැත් පත්‍රයේ දැක්වුණු පරිදි අද පූර්වභාග 06.40 ට නැගෙනහිර දිශාව බලා සුබ නැකතිනි. මෙවර පැළ සිටුවීමේ රාජ්‍ය උත්සවය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණකොළපැළැස්සේ පිහිටි නිවස කේන්ද්‍ර කරගනිමින් පැවැත් වේ. මේ අතර සිංහල දෙම‍ළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැමේ නැකත හෙටට යෙදී තිබේ. නැකැත් පත්‍රයේ දැක්වෙන්නේ අප්‍රේල් මස 17 වෙනි සෙනසුරාදා පූර්ව භාග 07.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවී බවයි. මෙවර හිස තෙල් ගැමේ රාජ්‍ය උත්සවය දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවිමෙන් කැලණිය පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් භූමියේදී පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර නව වසරේ රැකි රක්ෂා සඳහා පිටත්වයාමේ නැකත යෙදී ඇත්තේ ලබන සඳුදා (19) පූර්ව භාග 6.39 ටය.