ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් කුරුණෑගලින්..

ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් කුරුණෑගලින්...

by Sagarika Chathumali 16-04-2021 | 10:08 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 212 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් පුද්ගලයින් 45 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතයින් 167 දෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 33 කි. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31 ක් ලෙස වාර්තා වී තිබේ. අනෙක් ආසාදිතයින් 71 දෙනා වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 95,949 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 3,033කි. සමස්ත ආසාදිතයින් අතරින් 92,308 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් සිව් දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 608 ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වී තිබුණේ, පන්නිපිටිය, ඇල්ලක්කල, දෙණියාය සහ කපුලියද්ද ප්‍රදේශවලිනි. ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 103 ක් තුළ පුද්ගලයින් 10,098 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (15) දිනය තුළ සිදුකර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 3,417 කි. කෙරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 925242 කි.