වියළි කාලගුණය නිසා ජල සැපයුමට බාධා

වියළි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවිය හැකියි - ජල සම්පාදන මණ්ඩලය

by Staff writer 15-04-2021 | 7:32 AM

COLOMBO (News 1st) - පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා මතුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ, දිවයිනේ පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල ධාරිතාවය පහළ බසිමින් ඇති බවයි. එමෙන් ම උත්සව සමය නිමිත්තෙන් ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත්, දවසේ පැය 24 පුරාම එකම ධාරිතාවයෙන් ජල සම්පාදනය කිරීමට අපහසු වනු ඇති බවත්, එම මණ්ඩලය පැවසීය. මේ හේතුවෙන් උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයින්ට අඩු පීඩනයක් යටතේ ජලය බෙදා හැරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය ඉල්ලා සිටින්නේ, අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නල ජලය භාවිත කර ජලය නොලැබෙන පාරිභෝගිකයින්ට පානීය ජලය ලබාදීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසය. ජල සැපයුම සම්බන්ධයෙන් යම් ගැටලුවක් වෙතොත් 1939 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන්නැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.