නව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය⁣ට බඳවා ගැනීම් ඇරඹේ

නව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා බඳවා ගැනීම් කඩිනමින් ඇරඹේ

by Staff writer 15-04-2021 | 12:25 PM

COLOMBO (News 1st) - නව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා බඳවා ගැනීම් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වෙතැයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඇපා මහතා සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාව ඒ පිළිබඳව අධ්‍යයන කර වාර්තාවක් ලබා දීම සඳහා ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි. එම කමිටුවේ වාර්තාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ලැබී තිබේ. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද වහාම බඳවා ගැනීම් සිදු කරන ලබන බව ද ඔහු පැවසුවේ ය. කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඇපා මහතා සඳහන් කළේ, නව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයට ගොවීන්ට තමන්ට වැය කළ හැකි මුදල් ප්‍රමාණය අනුව දායක විය හැකි බවයි. මේ වනවිට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වී ඇති ගොවි මහතුන්ට නැවත බඳවා ගැනීම් අවශ්‍ය නොවන බවත් වැඩි ප්‍රතිලාභ අපේක්ෂා කරන්නේ නම් නව ක්‍රමයට ද දායක විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේ ය. ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය, අලුතින් බඳවා ගැනීම් වසර 6කට ආසන්න කාලයක සිට අත්හිටුවා ඇති බව ද ඔහු සඳහන් කළේ ය. මේ පිළිබඳව ගොවීන්ට අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි වේ.