දකුණු අප්‍රිකාවට එරෙහි පකිස්ථානයට වාර්තාගත ජයක්..

දකුණු අප්‍රිකාවට එරෙහි පකිස්ථානයට වාර්තාගත 20යි 20 තරග ජයක්..

by Staff writer 15-04-2021 | 8:36 AM

News 1st - දකුණු අප්‍රිකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය පකිස්ථාන කණ්ඩායම කඩුලු 9කින් ජය ගෙන තිබේ.

ඒ අනුව තරග 4 කින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ පකිස්ථානයයි. සෙන්චූරියින්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ලට යනමන් මලාන් සහ එයිඩන් මාක්‍රම් ලකුණු 108ක සබඳතාවක් ගොඩනැගුවේ ය. මාක්‍රම් ලකුණු 63ක් රැස් කළේ පන්දු 31කිනි. හත⁣⁣රේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. ජෝර්ජ් ලින්ඩ් ලකුණු 22යි. යනමන් මලාන් ලකුණු 55ක් රැස් කළ අතර ඊට හත⁣රේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත්. රසී වැන්ඩර් ඩසෙන් නොදැවී ලකුණු 34ක් රැස් කළේ ය. මොහොමඩ් නවාස් ලකුණු 38ට කඩුලු 2යි. දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 203ක් රැස් කර තිබේ. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පකිස්ථාන නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්, කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය. ඔවුන් පළමු කඩුල්ලට ලකුණු 197ක ශක්තිමත් සබඳතාවක් ගොඩනගා තිබේ. එය පන්දුවාර 20යි 20 තරගයකදී පකිස්ථාන පිතිකරු යුගළයක් පළමු කඩුල්ලට ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයයි. එමෙන්ම පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයක පළමු කඩුල්ල සඳහා පිතිකරුවන් දෙදෙනෙකු සිව්වැනියට ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවය ද එය වෙයි. බාබර් අසාම් පන්දු 59කින් ලකුණු 122යි. 4 පහර 15ක් සහ 6 පහර 4කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. මොහොමඩ් රිස්වාන් ලකුණු 73යි. පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.