රූ රැජිණ තරගයේ අවුල ගැන යළිත් නිවේදනයක්

රූ රැජිණ තරගයේ අවුල ලෝක රූ රැජිණ තරගාවලියට බාධාවක් වෙයි ද?

by Sagarika Chathumali 12-04-2021 | 2:50 PM

COLOMBO (News 1st) : මෙරට පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී ඇති වූ සිදුවීම මීළඟ ලෝක රූ රැජිණ තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්, Mrs. World Inc. සංවිධායකයින් පවසන්නේ, ජාතික තරගාවලියේදී කැරොලයින් ජූරි සම්බන්ධ සිද්ධිය පිළිබඳව තමන් පූර්ණ දැනුවත්භාවයකින් පසුවන බවයි. පසුගිය 4 වනදා නෙළුම් පොකුණ රගහලේදී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී කිරුළ පළඳා විනාඩි කිහිපයක් ඇතුළත රූ රැජිණට කිරුළ අහිමිවීමේ අසාමාන්‍ය සිදුවීමක් වාර්තා විය. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඔටුණු පැළඳුවා ය. සභාවේ සිටි කිසියම් අයකු ඇය විවාහක වුව ද දැන් දික්කසාද වී ඇති බව දැනුම් දීමත් සමග තරගයේ තීරණය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුවු අතර ඊට එකඟතාව පළ කරමින් තීරක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ අනුශූරතාව ලබාගෙන ගත් තැනැත්තිය වෙත පිරිනැමී ය.