අධිවේගයේ වෙට්ටු දැමූ තරුණයින් හඳුනා ගනී...

අධිවේගයේ වෙට්ටු දැමූ තරුණයින් හඳුනා ගනී... මෝටර් රථය සමග රියැදුරුත් පොලීසියට

by Sagarika Chathumali 12-04-2021 | 4:45 PM

COLOMBO (News1st) : සමාජ මාධ්‍යයේ සංසරණය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරීක්ෂාකාරී සහ අන්තරයාකාරී ලෙස ධාවනයේ යෙදෙන අයුරු දැක්වෙන මෝටර් රථය මිලදී ගෙන ඇති පුද්ගලයාගේ පුත්‍රයා අදාළ රථය ද සමග අද ගැලණිගම පිහිටි අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රථය මිලදී ගෙන ඇති අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ශල්‍යකර්මයකට භාජනය වී ඇති බැවින් ඔහුගේ පුත්‍රයා එලෙස පොලීසිය හමුවට පැමිණ ඇති බවයි. මීට අමතරව පේරාදෙණිය පාර , මහනුවර ලිපිනයක පදිංචි රථයේ මුල් හිමිකරු ද අද අධිවේගී මාර්ග කොට්ඨාසය කාර්යාලය හමුවට පැමිණ ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අපරීක්ෂාකාරී ලෙස රථය පැදවූ රියැදුරා අද දිනයේ පොලීසිය හමුවට පැමිණ ඇතත් ශරීර රථයෙන් ඉවතට දමාගෙන ගමන් කළ තරුණයින් සිව් දෙනා පැමිණ නොමැති බවයි. ලිපිනයන් ද සහිතව ඔවුන් මේ වනවිට ත් හඳුනා ගෙන ඇති අතර සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය. අද ගැලණිගම කාර්යාලය හමුවට පැමිණි පිරිසෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, පසුගිය සෙනසුරාදා උදෑසන කඩවතින් අදාළ මෝටර් රථය අධිවේගී මාර්ගයට ඇතුළු කර ගාල්ල දක්වා ගමන් කර නැවත කඩවතින් පිටව පිරිස මහනුවරට ගොස් ඇති බවයි. රථයේ මුල හිමිකරු අදාළ රථය විකිණීමේදී නිසි පැවරීමක් ද සිදු කර නොමැති බව අනාවරණය වී ඇතැයි ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.   https://youtu.be/L7QuKIXrabw