පිලිප් කුමරුගේ අවමංගල්‍යට හැරී කුමරුත්..

පිලිප් කුමරුගේ අවසන් කටයුතු ලබන 17 වැනිදා: හැරී කුමරුත් අවමංගල්‍යට ..

by Chathurika Jayasundara 11-04-2021 | 11:57 AM

COLOMBO (News 1st) – දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනි සෙනසුරාදා පැවැත්වෙන බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය.

ඒ අනුව, පස්වරු 3.00 ට වින්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී රාජකීය අවමංගල්‍ය උළෙල පැවැත්වීමට නියමිත ය. රාජකීය නිලධාරීන් සඳහන් කරන්නේ , එම අවස්ථාවේ විනාඩියක ජාතික නිශ්ෂබ්දතාවත් පැවැත්වීමට ද නියමිත බවය. රාජකීය යුවලගේ වැඩිමහල් පුත් සිංහාසනයේ උරුමක්කාරයා වන චාල්ස් කුමරු සිය ආදරණීය පියාට හෘදයාංගම උපහාරයක් පිරිනමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම රාජකීය අවමංගල්‍ය උළෙල සීමිත පැමිණීම් මධ්‍යයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කිරීමට නියමිත අතර, රජ පවුලේ සමීපතමයින් 30 දෙනෙකු පමණක් අවමංගල්‍ය උළෙලට සහභාගී වෙයි. නමුත් සම්ප්‍රදායික රාජකීය අවමංගල්‍ය උත්සවයකදී පැවැත්වෙන පෙරහැර මෙහිදී නොපැවැත්වීමට තීරණය කර තිබේ. මේ වනවිට කාගේත් අවධානය යොමුව ඇත්‌තේ, අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වන්නන් අතර හැරී කුමරු සිටිනවා ද යන්නයි. රාජකීය නිලධාරීන් සඳහන් කරන්නේ , පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයට හැරී කුමරු සහභාගී වන බවත්, මේ වනවිට සිය දෙවන දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින හැරී කුමරුගේ බිරිඳ මේගන් මාක්ල් අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවන බවත් ය. මේ අතර කොරෝනා සීමාවන් නිසා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද (Boris Johnson) අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවන බව දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් කුමරුට ගෞරව පුද කරමින් එක්සත් රාජධානිය පුරා ආචාර්ය වෙඩි මුර පිරිනැමීම ඊයේ (10) සිදු විය. එක්සත් රාජධානියට අදාළ මුහුදු සීමාවන්හිද යුධ නැව්වලින් ආචාර වෙඩි මුර පිරි නැමුණි. එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ලන්ඩන්, එඩින්බරෝ, කාඩිෆ් සහ බෙල්ෆාස්ට් ඇතුළු නගර කේන්ද්‍ර කර ගනිමින් මිනිත්තු 40ක් මිනිත්තුවකට වරක් බැගින් මෙම වෙඩි මුර පිරි නැමුණු බවයි. අදත් විනාඩි 40 ක කාලයක් පිලිප් කුමරු වෙනුවෙන් බ්‍රිතාන්‍ය පුරා ආචාර වෙඩි මුර පැවැත්වීමට නියමිත ය. දේහය පිළිබඳ රාජකීය අවමංගල්‍ය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතය. මේ අතර පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ඊයේ (10) සිට ලබන 17 වැනිදා දක්වා බ්‍රිතාන්‍යයට ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කෙරිණි . බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූයේ පසුගිය 09 වැනිදා ය. අභාවප්‍රාප්ත වනවිට එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ වයස අවුරුදු 99 කි. 1921 වසරේ ජුනි 10 වැනිදා පිලිප් කුමරු උපත ලබන්නේ, ග්‍රීසී සහ ඩෙන්මාර්ක් ඇන්ඩෘ කුමරුගේ එකම පුතු ලෙසය. 1947 වසරේදී එළිසබෙත් රැජිණ සමග විවාහ වීමත් සමග පිලිප් කුමරු එඩින්බරෝ ආදිපාදවරයා බවට පත් විය.