කොරෝනා නීති කඩා සාද දැමූ නෝර්වේ අගමැතිනියට දඩ...

කොරෝනා නීති කඩා සාද දැමූ නෝර්වේ අගමැතිනියට දඩ...

by Sagarika Chathumali 09-04-2021 | 4:44 PM

COLOMBO (News 1st) :

නොර්වේ පොලීසිය එරට අග්‍රාමාත්‍ය අර්නා සොල්බර්ග් මහත්මියට ඩොලර් 2,352ක දඩ මුදලක් නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉකුත් පෙබරවාරි මාසයේදී කොරෝනා මර්දන නීති කඩ කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ වරදකට ඇයට මෙලෙස දඩ නියම කර ඇති බවයි. අගමැතිනියට එල්ල වූ චෝදනාව වූයේ, සිය පවුලේ සාමාජිකයින් ද ඒකරාශී කර ගනිමින් සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් උපන්දින සාදයක් පැවැත්වීමයි. නොර්වේ පොලිස් ප්‍රධානි ඔලේ සේවරූඩ්  පවසන්නේ , අග්‍රාමාත්‍යවරිය 10 දෙනෙකුට වැඩි පුද්ගල ඒකරාශී කිරීම් තහනම් කර තිබූ පසුබිමකදී පසුගිය පෙබරවාරි මාසයේ පවුලේ සාමාජිකයින් 13 දෙනෙකු ද සමග උත්සව ශාලාවක් තුළදී සිය 60 වන උපන් දිනය සමරා ඇති බවයි. කෙසේ වෙතත් ඇය තමා සිදු කළ වරද සම්බන්ධයෙන් පසුගියදා ජනතාවගෙන් සමාව ද අයැද සිටියා ය. අගමැතිනියට නියම කළ දඩය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට පොලිස් ප්‍රධානියා පැවසුවේ, සාදය සංවිධානය කිරීම සඳහා සහය දුන් අග්‍රාමාත්‍යවරිගේ සැමියා මෙන් උපන් දින සාදය පැවැත්වූ උත්සව ශාලාවේ හිමිකරුවන් ද නිරෝධායන නීති උල්ලංඝණය කර ඇති බවයි. කෙසේ වෙතත් එම දෙපාර්ශ්වයට දඩ නියම කිරීමක් සිදු කර නොමැත. සේවරූඩ් අගමැතිනියට දඩ නියම කිරීම සාධාරණීකරණය කරමින්  පැවසුවේ, මෙලෙස නීති කඩ කර ඇත්තේ,  සාමාන්‍ය අයෙකු නොව රටේ ප්‍රධානියා මෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සීමා බල ගැන්වූ බලධාරීන් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ තැනැත්තියක් බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරියට නියම වූ මෙම දඩය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. මේ අතර නෝර්වේ සැලකෙන්නේ , කොරෝනා මර්දන නීති නිසි ලෙස අනුගමනය කිරීම හමුවේ යූරෝපා කලාපයේ අවම ආසාදිතයින් සහ කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරින් එකක් ලෙසයි.