කතානායක සම්බන්ධයෙන් විපක්ෂයෙන් ලිපියක්

කතානායකවරයාට අපක්ෂපාතීව ක්‍රියා කරන්නැයි ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ලිපියක්

by Staff writer 09-04-2021 | 9:38 PM

COLOMBO (News 1st) : අපක්ෂපාතිව ක්‍රියා කරන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අත්සන් කළ ලිපියක් අද කතානායකවරයා වෙත යොමු කර තිබේ.

එමගින් පෙන්වා දී ඇත්තේ , කතානායකවරයා දිගින් දිගටම සභා ගර්භය තුළදී පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පෙනී ගොස් ඇති බවයි. ආණ්ඩු පක්ෂයෙන් ගෙන එන ඇතැම් යෝජනාවලට විරුද්ධ වූ අවස්ථාවලදී කතානයකවරයා සිතා මතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොසලකා කටයුතු කළ ආකාරය අවස්ථා කිහිපයකදී නිරීක්ෂණය වී ඇති බව එම ලිපියේ සඳහන් ය. සීනි ආනයනය කිරීමේදී අය කරන බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා රජය ගෙන ආ යෝජනාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඊට විරෝධය පළ කරමින් ඡන්දයක් ඉල්ලා සිටි අවස්ථාවේ එය ලබා නොදීම සහ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබා දුන්න ද රන්ජන් රාමනායකට ඒ අවස්ථාව ලබා නොදීම ඊට උදාහරණ ලෙස පෙන්වා දී තිබේ. මේ ආකාරයේ සිදුවීම් ඉතිහාසයේ කිසිදු දිනක නොවූ අතර උත්තරීතර පාර්ලිමේන්තුවේ කීර්ති නාමය අහිමි වීමට එය හේතුවේ දැයි බියක් මතුවන බව ද විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායකවරයාට යොමු කළ ලිපියේ සඳහන් ය.