''සමාන ප්‍රතිලාභ අත්වන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා''

සමාන ප්‍රතිලාභ අත්වන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා - ජනපති

by Staff writer 08-04-2021 | 7:56 AM

COLOMBO (News 1st) - සෑම පුද්ගලයෙකුටම හා සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර වෛද්‍ය සංගමයේ 43 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිතුමා ඊයේ පස්වරුවේ ⁣එම අදහස් පළ කළේ ය. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නීරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථයකි. ඒ සඳහා දීර්ඝ කාලීන ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් සෙවීමට, සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේ ය. ජනාධිපතිතුමා පැවසුවේ, “ගම සමග පිළිසඳර" වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවලදී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු සෘජුවම අත්දැකීමට තමන්ට හැකි වූ බවයි. සෞඛ්‍ය පද්ධතියේ ජයගතයුතු යම් යම් දුර්වලතා එහිදී හඳුනා ගැනීමට හැකි වූ බව ද ජනාධිපතුමා සඳහන් කළේ ය. එම අඩු පාඩු අඛණ්ඩව පැවතීමට ඉඩ ලබා දුනහොත් බරපතල අහිතකර ප්‍රතිවිපාක උද්ගත විය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.