රටට කිරුළු පළදන්නට පෙරට ආ මියන්මාර රූ රැජිණ

සිය හිසට කිරුළ නොව රටට කිරුළු පළදන්නට පෙරට ආ මියන්මාර රූ රැජිණ

by Sagarika Chathumali 06-04-2021 | 3:43 PM

COLMBO (News 1st) : කිරුළක් වෙනුවෙන් ලෝකය ඉදිරියේ  අවමානයට ලක් වන ඇතැමුුුන් අත‌රේ ජීවිත අවදානම හිස දරන් කිරුළේ සිහිනය පසෙක තබා රට වෙනුවෙන් හඬ නැගූ සැබෑම රැජිණක් පිළිබඳව මියන්මාරයෙන් වාර්තා වේ.

ඒ, මියන්මාර හමුදා පාලනයට එරෙහිව අභීතව නැගී සිටි 22 හැවිරිදි මියන්මාර රූ රැජිණ (Miss Grand Myanmar) හැන් ලේ (Han Lay) පිළිබඳ පුවතයි. තායිලන්තයේ පැවති Miss Grand International - 2020 තාරගාවලියට ඉදිරිපත් වූ Han Lay තරගාවලි වේදිකවේ ප්‍රකාශයක් කරමින් ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියේ, අත්ව ඇති ඛේදනීය ඉරණමෙන් සිය රට බේරා දෙන ලෙසයි.
''අද මගේ රටේ ගොඩක් මිනිස්සු මැරෙනවා. කරුණාකරලා මගේ රටට උදව් කරන්න. ඉක්මනින් ම මගේ රටට ඔබේ උදව් අවශ්‍යයි. මම ගොඩක් කනගාටු වෙනවා. මගේ පවුල ගැන සහ මගේ ආරක්ෂාව ගැන මොකද මම හමුදා පාලනය ගැන ගොඩක් කතා කළා.මියන්මාරයේ හැම දෙනාම දන්නවා. එහි සිදුවන දේ ගැන කතා කිරීම පවා සීමා කරලා. මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රට සම්බන්ධයෙන් හදිසි පියවරක් ගත යුතුයි. රටට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි''
Han Lay විනාඩි 2 ක සිය ප්‍රකශය තුළ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තම ප්‍රකාශයත් සමග තම ජීවිතය අවදානමකට ලක් වන බව දැන දැනම Miss Grand International - 2020 වේදිකාව තම මව්බිම ගැන ජාත්‍යන්තරයට කතා කිරීමට වේදිකාවක් ලෙස භාවිත කිරීමේ අධිෂ්ඨානයෙන් යුතුව තායිලන්තයට පැමිණි බවයි. මියන්මාරය තුළ මාධ්‍යවේදීන් පවා අත්අඩංගුවේ පසුවන බවත් එම නිසා තමා රටේ තත්ත්වය ලොවට කීමට මෙය අවස්ථාවක් කර ගත් බව Han Lay වැඩිදුරටත් පවසා සිටියා ය. යැන්ගොං විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ සිසුවියක වන Han Lay හමුදා පාලනයට එරෙහිව යැංගොන්හි විරෝධතාවලට පවා සම්බන්ධව සිටි තරුණියකි. සිය ප්‍රකාශයෙන් පසු මියන්මාරයේ සිරගෙයක් තමා වෙනුවෙන් සුදානම් කරන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජණාත්මක පණිවුඩ ලැබුණු බව පවස Han Lay ඉදිරි මාස කිහිපය තුළ තායිලන්තයේ රැඳී සිටීමට තීරණය කර තිබේ.

කිරුළු දරන වේදිකාවේ ඇය හඬ අවදි කළේ  කිරුළ වෙනුවෙන් නොව , රට හා සහෝදර ජනයා වෙනුවෙන් ය. 

කිරුළක් පළදින කවුරුන් වුවද ජාත්‍යන්තරය තුළ සිය රට නියෝජනය කරන්නේ සිය මව් රටේ නියෝජනයක් ලෙසයි.  කිරුළු දැරූවන් වැජඹෙන්නේ කිරුළේ නාමයෙන් මිස කිරුළ වැජඹෙන්නේ කිරුළ දැරූවන්ගේ නාමයෙන් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදයට තිත තැබූ හමුදා කුමන්ත්‍රණය...

මීට මාස 2කට පෙර සිවිල් නායිකා අවන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගනිමින් මියන්මාර හමුදාව රටේ බලය සියතට ගත්තේ ය. හමුදා කුමන්ත්‍රණයත් සමග රට පුරා දැඩි මහජන විරෝධතාවක් නිර්මාණය වූ අතර දහස් ගණනින් ජනතාව ආරක්ෂ අංශවල මර්දනය නොතකමින් තවදුරටත් මහමගට බැස විරෝධතාවේ නිරතව සිටී. මියන්මාරයේ විරෝධතා අතරතුර ආරක්ෂ අංශ අතින් 500කට වැඩි මියන්මාර මියන්මාර වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියන්මාර හමුදා පාලනයට එරෙහිව හඬ නැගූ ප්‍රසිද්ධ පුද්ගලයින් 18 දෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබිණ. කුමන්ත්‍රණයකින් ප්‍රජාතන්තවාදී පාලනයට තිත තැබූ මියන්මාර හමුදා පාලකයෝ තවදුරටත් ජනතා නැගී සිටීම් මර්දනය කිරිමට ගිනිඅවි අමෝරා ගෙන සිටිති.