වතු කම්කරු වැටුප:පෙත්සම විභාගයට අවසර

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000 කිරීම අභියෝගයට ලක් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර

by Staff writer 05-04-2021 | 3:47 PM

COLOMBO (News 1st) – වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000 ක් විය යුතු බවට නීති පනවමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින්, වතු හිමියන්ගේ සංගමය ගොනුකර තිබු රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය පෙත්සම සම්බන්ධ විවාදය ලබන මැයි 05 වැනිදා ආරම්භ කිරිමට අද නියම ක‌ළේය.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වතු සාමාගම් 20ක් විසින් ගොනු කර තිබු එම රීට් ආඥා පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට ද, අභියාචානාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට අවසර දුන්නේය. පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ කැඳවනු ලැබුවේය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස්වරයා, තේ හා රබර් කර්මාන්ත පිළිබඳ පඩිපාලක සභාවේ සභාපතිවරයා සහ එහි සෙසු සාමාජිකයින් ඇතුළු 18 දෙනෙකු නම් කර තිබේ.