අහිමි කිරුළට යළි හිමිකම් කී පුෂ්පිකා..

අහිමි කිරුළට යළි හිමිකම් කී පුෂ්පිකා..

by Staff writer 05-04-2021 | 4:52 PM

COLOMBO (News 1st) – 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී, විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳ සුළු මොහොතකින් කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට යළි විවාහක රූ රැජිණ කිරුළ ලබා දී ඇති බව වාර්තා වේ.

පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සහෝදරිය නිව්ස්ෆස්ට් ‌වෙත පැවසුවේ, අද (5) පස්වරුවේ යළිත් ඇයට කිරුළ ලබා දුන් බවට සංවිධායක මණ්ඩලය තහවුරු කළ බවය. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් මහා තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (04) රාත්‍රියේ උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර එහිදී 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තේරී පත් වූයේ පුෂ්පිකා ද සිල්වා මහත්මියයි. කිරුළ පැළඳීමෙන් මිනිත්තු කිහිපයකට පසුව සභාවේ සිටි අයෙකු ඇය විවාහක වුව ද දැන් දික්කසාද වී ඇති බව දැනුම් දීමත් සමග තරගයේ තීරණය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතු විය. පසුව තීරක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ ඇය වෙතින් ගලවා අනුශූරතාව ලබාගත් තැනැත්තියට පැළඳ වූවා ය. පසුව පුෂ්පිකා ද සිල්වා වේදිකාවෙන් බැස යනු දක්නට ලැබිණ. මේ අතර මෙම සිද්ධියට මුහුණ දුන් පුෂ්පිකා ද සිල්වා අද රෝහල්ගත කර ඇති බවට ද තොරතුරු වාර්තා විය. 'කිරුළ උදුරා ගන්නා ලද පළමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ' මේ 2021 - ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී මිනිත්තු කිහිපයකින් කිරුළ ගිලිහී ගිය පුෂ්පිකා ද සිල්වා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් තමා හඳුන්වා දී තිබූ අකාරයයි. එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබුණේ, තමා දික්කසාද තැනැත්තියක ද නොවන බවත් එය එසේ නම්, ඊට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන ලෙසත් ය. ඇය සිය Facebook සටහන අවසන් කර තිබුණේ මෙලෙසයි...

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුළ උදුරා ගන්නා ගැහැණියක් නොව, අනෙක් ගැහැණියගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!