බ්‍රසීලය භූමදානය කළ මළ සිරුරු නැවත ගොඩ ගනී..

කොවිඩ් මළ සිරුරුවලට ඉඩ ගන්න බ්‍රසීලය භූමදානය කළ මළ සිරුරු නැවත ගොඩ ගන්න සැරසෙයි..

by Chathurika Jayasundara 04-04-2021 | 1:49 PM

COLOMBO (News 1st) –  බ්‍රසීලය කලකට පෙර සුසාන භූමිවල මිහිදන් කළ මළ සිරුරු ඉවත් කර , නව මළ සිරුරු භූමදානය කිරීම සඳහා ඉඩ ලබා ගැනීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, එරට කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග මළ සිරුරු භූමදාන කිරීමට ඉඩ නොමැති වීම හේතුවෙන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , ඒ අනුව එරට විශාලතම නගරය වන සාවෝ පවුලෝහි (Sao Paulo) පැරණි සොහොන් හිස් කිරීමට එම නිලධාරීන් තීරණය කර ඇති බවයි. වසර ගණනාවකට පෙර වැළලූ මළ සිරුරු එම ස්ථානයෙන් ඉවත් කර දිරාපත් වූ දේහ කොටස් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබේ. සාවෝ පවුලෝහි අවමංගල්‍ය කටයුතු පිළිබඳ නාගරික ලේකම් (municipal secretary responsible for funeral services) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ , සුසාන භූමි සම්බන්ධ සිදුවීම්වලදී දේහය නැවත ස්ථානගත කිරීම වරදක් නොවන බවයි. බ්‍රසීලය වඩාත් දරුණු කොරෝනා වසංගත රැල්ලට ගොදුරු වීම නිසා එය හදිසි තත්ත්වයකට පත්ව තිබේ. දිගින් දිගටම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයත්ම 213,687,606 ක ජනගහනයක් ජීවත් වන බ්‍රසීල සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහිමේ අවසන් මායිමට ළඟා වෙමින් ඇතැයි, විචාරකයෝ පවසති. කොරෝනා වසංගතය ආරම්භ වූ දින සිට මේ දක්වා බ්‍රසීලයේ සිව් වතාවක් සෞඛ්‍ය අමාත්‍යවරු පත් කර ඇති අතර මේ වනවිට හෘද රෝග විශේෂඥවරයකු වන මාර්සෙලෝ සිව්වන සෞඛ්‍ය ඇමති ලෙස සේවය කරමින් සිටී.