සල්ලි පොම්ප කරන නිසා නිදාගෙන ඉන්නේ සැපට..

රාජ්‍ය නොවන සංවිධානයක් සල්ලි පොම්ප කරන නිසා උපවාසයක් කියලා නිදාගෙන ඉන්නේ සැපට.. - චමල් රාජපක්ෂ

by Staff writer 03-04-2021 | 9:34 PM

COLOMBO (News 1st) : ''දැන් අර සමහර කට්ටියක් මෙතන මාස දෙකක් විතර උපවාසයක නිරත වෙලා ඉන්නවා. අලි වැට ගහන්න කියලා. ඒහෙමත් ගන්න ඇහැකිය අලි වැටවල්. හොයලා බලනකොට නිදාගෙන ඉන්නේ සැපට. මොකද සැප රාජ්‍ය නොවන සංවිධානයක් සල්ලි පොම්ප කරනවා''

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ, අද හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම සම්බන්ධයෙන් පැවති ජන හමුවකදී ය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.
''දෙයි හමුදුරුවනේ මමත් ගිහිං නිදා ගන්නවා මටත් එහෙම දෙනවනම්. ඇයි මේක හරි ෂෝක් වැඩේනේ. එතන උපවාස කරනවට සල්ලි දෙනවා. සල්ලි දුන්නම ඒ මනුස්සයෝ ඉතිං ඉන්න එපැයි. ඔන්න තමුන්නාසේලාටත් පුළුවන්නම් රාජ්‍ය නොවන සංවිධානයක් අල්ලගෙන මෙන්න මේක ඉස්සරහා පොඩ්ඩක් උපවාසයක් කරන්න මොනවා හරි. අඩුම ගානේ ගහක් ඉන්දන්නයි කියලා. සල්ලි ගෙනත් දෙනවනම් නිදාගෙන ඉන්න බැරිය. අලින්ගේ ප්‍රශ්නය අපි දන්නවා මේ නගරය ඇතුළෙත් අලි ඉන්නවා. හයිවේ එකක් හැදුවා. ඒකෙන් අලි ටික කොටහක් එහේ. කොටහක් මේහේ. දැන් උන්ට යන්න බැහැනේ එහා පැත්තට. එතකොට උන් දැන් මෙහේ පදිංචි වෙලා. දැන් ඉතිං අපි අලිත් එක්ක ජීවත් වෙන්නත් පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ ඉතිං ටික ටික අලින්ට හිංසාවක් නොකර උන් ටික එහාට යවන්න ඕන. මං දවසක් රෑ එනකොට 8.00 ට විතර අලි 25 ක් 30 ක් විතර රණ්ඩු වෙනවා. මං නවත්වලා බලන් හිටියා පැයක් විතර උන් දිහා. ඔක අස්සේ ගියානම් අපිටත් ගහනවානේ. හරි ලස්සනයි ඒක බලන්න. ඕවා බලන්න වෙන්නෙත් නැහැ උන් නොහිටියා නම්"
මේ අතර හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් වල්සපුගල ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අද(03) 77 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. මැදවච්චිය ගොවීන් වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහය අද 16 වැනි දිනටත් මැදවච්චිය නගර මධ්‍යයේදී පැවැත් වූ අතර ගල්ගමුවේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අද 19 වැනි දිනටත් ක්‍රියාත්මක විය.