බංග්ලාදේශය සතියකට Lockdown..

බංග්ලාදේශය සතියකට Lockdown..

by Chathurika Jayasundara 03-04-2021 | 8:39 PM

COLOMBO (News 1st) : සතියක කාලයක් සඳහා රට වසා තැබීමට(Lockdown) බංග්ලාදේශ රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ වාර්තා වීම ඉහළ යාමත් සමගිනි. බංග්ලාදේශ රජය නිකුත් කළ දත්තවලට අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව පැය 24 ක් තුළ 50 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට එරට කොරෝනා මරණ ගණන 9,155 ක් දක්වා ඉහළ ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එහි කොරෝනා ආසාදිතයින් ලක්ෂ 06 ද ඉක්මවා ඇති බවයි. ඒ අනුව, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සතියක කාලයක් බංග්ලාදේශය වසා තැබේ. නමුත් බංග්ලාදේශ රජය නිවේදනය කර ඇත්තේ, එම කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බවයි. රට වසා තැබෙන කාල සීමාව තුළ සෑම කාර්යාලයක්ම සහ උසාවියක්ම වසා තැබන අතර, කර්මාන්ත ශාලා විවෘතව පවතින නමුත් එහිදී සෞඛ්‍යාරක්ෂක නීති රීති අනුගමනය කළ යුතු ය. එරට රජය කර්මාන්ත වසා නොදමන්නේ, කම්කරුවන්ගේ රට තුළ සැරිසැරීම වැළැක්වීම පිණිස ය. සමාජ, දේශපාලන හා ආගමික ඇතුළු සියලු ආකාරයේ රැස්වීම් සීමා කරන ලෙස බංග්ලාදේශ රජය ගැසට් නිවේදනයකින් ඉල්ලා සිටී. ආසන ධාරිතාවෙන් අඩකට වඩා මගීන් රැගෙන යාමට බස් රථවලට ඉඩ නොදෙන බවත්, COVID-19 ආරක්ෂක මාර්ගෝපදේශ පවත්වා ගත යුතු බවත් එම ගැසට් නිවේදනයකි සඳහන් ය.