පොල් සංවර්ධනයට දුන් පොල්තෙල්වල පිළිකා කාරක නැහැ

පොල් සංවර්ධන අධිකාරියට දුන් පොල්තෙල් සාම්පල කිසිවක පිළිකා කාරකය නොමැති බව තහවුරු වෙයි

by Staff writer 02-04-2021 | 7:21 AM

COLOMBO (News 1st) - පරීක්ෂණ සඳහා තම අධිකාරියට ලබා දුන් කිසිදු පොල්තෙල් සාම්පලයක ඇෆ්ලටොක්සීන් නැමති පිළිකා කාරකය අඩංගු නොවන බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ පියසේන එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේ, පාරිභෝගික අධිකාරිය විසින් දැනට වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති ඇසුරුම් කළ පොල්තෙල් සාම්පල 50ක් පරීක්ෂණ සඳහා තම අධිකාරියට ලබා දුන් බවය. එම සාම්පල විද්‍යාගාරවල පරීක්ෂණවලට යොමු කිරීමේදී මේ බව තහවුරු වූ බව ද ඔහු ප්‍රකාශ කළේ ය. දේශීය පොල්තෙල් අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කරන්නේ 30%ක් පමණක් බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ පියසේන එදිරිමාන්න මහතා පැවසුවේ, මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 80000ක් බවයි. මේ හේතුවෙන් පොල්තෙල් අවශ්‍යතාවයෙන් 70%ක් ම ආනයනයට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව දේශීය පොල්තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කුරුට්ට සහිත විජලනය කළ පොල් ආනයනයට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව පියසේන එදිරිමාන්න මහතා පැවසුවේ ය.