වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය භයානකයි

දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානකයි - විජයදාස රාජපක්ෂගෙන් පැහැදිලි කිරීමක්..

by Staff writer 02-04-2021 | 10:12 PM

COLOMBO (News 1st) – විෂ කාරක පොල්තෙල් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු පවසන්නේ , 2021 මාර්තු 25 වැනි සහ 26 යන දිනවලදී මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණයවන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය පොල්තෙල් සාම්පල 55ක් ලබාගෙන ඇති බවයි. ඒ අතුරින් සාම්පල 8ක හැර අනෙක් සියල්ලේම ඇෆ්ලටොක්සීන් අන්තර්ගතව ඇති බව එම නිවේදනයේ සඳහන් ය. එයින් සාම්පල 14ක විෂ කාරක අගය 5 සිට 10 දක්වා තිබී ඇති අතර තවත් සාම්පල 6ක ඇෆ්ලටොක්සීන් අගය 10 ඉක්මවා අන්තර්ගත වී ඇති බව ද මෙහි දැක්වේ. මෙම සාම්පල සියල්ලම සාමාන්‍ය වෙළෙඳපොළෙන් ලබාගත් ඒවා බැවින්, දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානක හා අනතුරුදායක බව ද විජයදාස රාජපක්ෂ මහතා මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබේ. ඔහු පවසන්නේ, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එල්. ඩී. නිරෝෂන මහතා අප්‍රේල් 01 වැනිදා පැවසූ පරිදි අදාළ සාම්පලවල මිනිස් සිරුරට අහිතකර ඇෆ්ලටොක්සීන් නොමැති බවට කළ ප්‍රකාශය ඉතා බරපතල අසත්‍යයක් බවයි. එමගින් හිතමතාම පිළිකා කාරක අඩංගු පොල්තෙල් මහජනතාවට පරිභෝජනයට පොළඹවා මහජනතාවගේ ජීවිත විනාශ කිරීමට තැත් කිරීමක් බවත් ආචාර්ය විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අවධාරණය කරයි.