සචින් තෙන්ඩුල්කාර් රෝහල්ගත කෙරේ

කොවිඩ් වැළඳුණු සචින් තෙන්ඩුල්කාර් රෝහලට

by Sagarika Chathumali 02-04-2021 | 2:35 PM
COLOMBO (News 1st) : කොවිඩ් ආසාදිත බවට පසුගිය දා හඳුනා ගත් ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් රෝහල්ගත කර තිබේ. තෙන්ඩුල්කාර් අද (2) ට්විටර් පණිවුඩයක් යොමු කරමින් පවසා ඇත්තේ, වෛද්‍ය උපදෙස් මත පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස තමා මුම්බායිහි රෝහලකට ඇතුළත් වූ බවයි. 47 හැවිරිදි හිටපු ක්‍රිකට් නායකයා වැඩිදුරටත් පවසා ඇත්තේ දින කිහිපයක් ඇතුළත යළි පැමිණීමට බලාපොරොත්තු වන බවයි. කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ දිනයේ තෙන්ඩුල්කාර් ට්විටර් පණිවුඩයක් යොමු කරමින් පවසා තිබුණේ, නිවසේ සිට නිරෝධායනය වෙමින් සිටින බවත් පවුලේ අනෙක් සාමාජිකයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවත් ය. පසුගිය සති කිහිපයක සිට මුම්බායි ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයකම කොරෝනා වෛරස ව්‍යාප්තිය යළි ඉහළ යාමට පටන් ගෙන තිබේ. කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අතින් ඉන්දියාව ලොව තුන්වන ස්ථානයේ පසුවන අතර එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,303,131කි. කොරෝනා වැළඳීමෙන් ජීවිත අහිමිවී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 163,000ට අධික ය.

සබැඳි පුවත්... 

කොරෝනා වැළඳුණු තෙන්ඩුල්කාර්ගේ ට්විටර් පණිවුඩය..